gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ව්‍යාපාරික ලාභය වෙනුවෙන් පාර හරහා මාරක කේබලයක් ඇදලා - දරුවන් දෙන්නා ඉදිරියේම පියාගේ ගෙළ සිදුරුවී අවසන් ගමන් යයි

මාතලේ, රයිතලාවලින් වාර්තා වුණේ මුළු රටම කම්පා කළ, ඒ වගේම වගකිවයුත්තන්ගේ අතිශය නොසැලකිලිමත්කම මැනවින් පෙන්වන මාරක රිය අනතුරක්. පාසල් යන්න ලෑස්ති වුණු තමන්ගේ දරුවන් දෙන්නත් එක්ක යතුරුපැදියෙන් ගිය පියකුට, ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් ඇද තිබූ ‘මාරක කේබලයක’ දැවටී ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවූ පුවතක් එහිදී වාර්තා වුණා.

අද උදෑසන 7.00 ත් 7.30 ත් අතර කාලයේදී මාතලේ, රයිතලාවල වැහිගල පාරේ පිහිටි ‘කඩුවෙල ලක්ෂ්මන් මෝල’ අසලට ලී කඳන් තොගයක් පටවාගත් බූම් ට්‍රක් රථයක් (Boom Truck) පැමිණ තිබෙනවා. මෝලට ලී බෑම සිදුකිරීමෙන් අනතුරුව, මෙම බූම් රථය නැවත ඉහළට ගැනීමට යාමේදී එය ලිස්සා යාමකට ලක්ව ඇති බවයි පොලිස් වාර්තා පවසන්නේ.

එලෙස ලිස්සා ගිය ට්‍රක් රථය ගොඩගැනීම සඳහා එහි සිටි සේවකයන් සහ රියදුරු විසින් කර ඇත්තේ, බූම් රථයේ ඇති යකඩ කේබලය (Cable) ප්‍රධාන මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස අනෙක් පසට ඇදීමයි.

පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, පොදු මහජනතාව සහ වාහන නිතර ගමන් ගන්නා මෙවැනි ප්‍රධාන මාර්ගයක් සම්පූර්ණයෙන්ම අවහිර වන සේ මාරක යකඩ කේබලයක් ඇදීමේදී, ඒ පිළිබඳව දැනුම් දීමට කිසිදු පූර්ව අනතුරු ඇඟවීමේ පුවරුවක්, මාර්ග බාධකයක් හෝ සංඥාවක් යෙදීමට මෝලේ සේවකයන් හෝ රථයේ රියදුරු කටයුතු කර නොමැති බවයි.

උදෑසන පාසල් වෙලාව බැවින්, එම අවස්ථාවේදී තමන්ගේ දරුවන් දෙදෙනාද යතුරුපැදියේ තබාගෙන මෙම මාර්ගයේ පැමිණි පියෙකුට, පාර හරහා අඳුරේ ඇද තිබූ මෙම කේබලය මඟහැර ගැනීමට නොහැකි වී තිබෙනවා. අධික වේගයකින් නොපැමිණියද, යතුරුපැදිය එකවරම මෙම කේබලයේ දැවටී ඇති අතර, එහිදී කේබලය වැදීමෙන් යතුරුපැදිකරුගේ ගෙල ප්‍රදේශය දරුණු ලෙස සිදුරුවී තිබෙනවා.

අධික ලෙස ලේ වහනය වීම හේතුවෙන් එම ආදරණීය පියා දරුවන් දෙදෙනා ඉදිරිපිටදීම එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ. යතුරුපැදියේ ගමන් ගත් පාසල් ළමයින් දෙදෙනා ද අනතුරෙන් බිමට වැටී සුළු තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට රෝහල්ගත කර තිබෙනවා.

තමන්ගේ ව්‍යාපාරික වාසිය සහ ලාභය වෙනුවෙන් මහජනතාවගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව සිතීම සතයකටවත් මායිම් නොකිරීමේ විපාකය විඳින්නට සිදුවූයේ අහිංසක පවුලකටයි. තමන්ගේ ඇස් පනාපිටම පියා මෙලෙස ඝාතනය වනු දැකීමෙන් දරුවන් දෙදෙනා මේ වන විට දැඩි මානසික කැලඹීමකට ලක්ව සිටින බව වාර්තා වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බූම් රථයේ රියදුරු සහ මෝලේ සේවකයන් කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි අතර, මාතලේ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka