ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය, තවදුරටත් පැවතීම සහ වැසි තත්ත්වය හේතුවෙන් ගංවතුර අවදානමක්ද ඇතිව තිබේ. ඉදිරි පැය 48 තුළ එම පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින්, ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එසේම ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නායයාම් පිළිබඳ දෙවැනි මට්ටමේ අනතුරු ඇඟවීම් දිවයිනේ දිස්ත්‍රික් 11කට නිකුත් කර ඇත. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මඩකලපුවෙන් එක් මරණයක්ද ඊයේ වාර්තා වී තිබේ. අයහපත් කාලගුණයෙන් පවුල් 62ක පුද්ගලයන් 203 දෙනෙක්ද ඊයේ වන විට බලපෑමට ලක්ව තිබුණි. සුරක්ෂිත මධ්‍යස්ථානවල 17 දෙෙනක් රඳවා තැබුණු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
නිවාස 39කටද අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින 2 තුළදීද, තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තුවේ.
එමෙන්ම දිවයින වටා දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වේ. මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර, නාවික ප්‍රජාව ඇතුළු ජනතාවගෙන් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
අඩු පීඩන කලාපයේ බලපෑමෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවල මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව අද (14) පෙරවරු 8.30 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද එහි දැක්වේ.
ඊයේ (13) පෙරවරු 8.30 සිට පෙරවරු 2.30 වන විට පුත්තලම කාලගුණ මධ්‍යස්ථානයෙන් මි.මී. 256.2ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා පැවසීය. එමෙන්ම පවතින අඩු පීඩන කලාපයේ බලපෑම ඉවත් වූ පසුව නිරිතදිග මෝසම ස්ථාපිත වීම සඳහා අවශ්‍ය තත්ත්වය ක්‍රමයෙන් සැකසෙනු ඇති බවද ඔහු පැවසීය.
ඊයේ (13) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාව කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා විය. එමෙන්ම මි.මී 201.9ක් රත්මලාන ප්‍රදේශයෙන්ද, මි.මී. 173.1ක් කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රදේශයෙන්ද, මි.මී 161ක් රත්නපුර දිස්ත්‍රික්කයේ ගිලීමලේ ප්‍රදේශයෙන්ද, මි.මී. 130.5ක් රත්නපුර නගරයෙන්ද වාර්තා විය.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවන ආපදා තත්ත්වය පිළිබඳව දැනුම් දීම සඳහා 117 දුරකතන අංකය ජනතාව සඳහා පැය 24 පුරාම විවෘතව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. අනාරක්ෂිත ස්ථානවල දිය නෑම ඉතා අනතුරුදායක බව සඳහන් කළ අධ්යක්ෂවරයා පසුගිය මාස කිහිපය තුළ එවැනි ස්ථානවල දිය නෑමෙන් මරණ කිහිපයක් වාර්තා වූ බවද ප්‍රකාශ කළේය. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා අවධානය යොමු කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ඇති විය හැකි ආපදා තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක නිරන්තරව කටයුතු කරන බවද, අපදා තත්ත්වයක් ඇතිවුවහොත් ජනතාව ඉන් බේරාගැනීම සඳහා අවශ්‍ය කණ්ඩායම් අවශ්‍ය උපකරණ සහිතව සූදානම් බවද අධ්යක්ෂවරයා පැවසීය. අධික වැසි හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක්ද ජලයෙන් යටවිය. මාර්ග ජලයෙන් යටවීම, ගස් අතු කඩා වැටීම් වාර්තා විය.
බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, මොනරාගල, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නායයාම් පිළිබඳව අනතුරු ඇඟවීමේ දෙවන සහ පළමු අදියරේ නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක් සඳහා නායයාම් පිළිබඳව අවධානය යොමු කිරීමේ දෙවන අදියරේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙන අතර තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 38ක් සඳහා නායයාම් පිළිබඳව අනතුරු ඇඟවීමේ පළමු අදියරේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.
පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 18ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 18ක් ඊයේ පස්වරුව වන විට වාන් දමමින් පැවති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. ඇතැම් ගංගාවල ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබූ සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් කළු, නිල්වලා, ගිං ගංඟාවල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඊයේ (13) පස්වරුව වන විට ඉහළ මට්මක පැවතිණ.
අද (14) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව අද දිනය සඳහා කාලගුණ අනාවැකියක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 – 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ දැක්වේ. මෙය ගොඩබිමට එන රළ උස නොවන බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
(දිනමිණ)



