ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ප්‍රහාර අද (04) පස්වන දිනටත් ක්‍රියාත්මක වන අතර, මෙම කෙටි කාලය තුළ ඉරානයේ සිවිල් වැසියන් 1,097 දෙනෙකු ඝාතනය වී ඇති බව අමෙරිකාව පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) තහවුරු කරයි. මෙම මරණ අතර වයස අවුරුදු 10ට අඩු කුඩා දරුවන් 181 දෙනෙකු සිටීම ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි කම්පනයට හේතු වී තිබේ. වාර්තාවලට අනුව මේ වන විට තුවාල ලැබූ සිවිල් වැසියන් සංඛ්‍යාව 5,402 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් සැලකිය යුතු පිරිසක් දරුවන් බව ද සඳහන් වේ.
පසුගිය පැය 24 තුළ පමණක් අවම වශයෙන් ප්‍රහාර 104ක් වාර්තා වී ඇති අතර, හමුදා කඳවුරුවලට අමතරව වෛද්‍ය මධ්‍යස්ථාන සහ ජනාකීර්ණ නේවාසික ප්‍රදේශ ද මෙම ප්‍රහාරවල ඉලක්ක බවට පත්ව තිබේ. මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ සිදුවී ඇති තවත් සිය ගණනක මරණ පිළිබඳව මේ වන විටත් සමාලෝචනය කරමින් පවතින බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. මෙම දරුණු මානුෂීය අර්බුදය හමුවේ ඉරානය පුරා පවතින සිවිල් යටිතල පහසුකම්වලට ද දැඩි හානි සිදුව ඇති අතර, යුද්ධයේ බිහිසුණු බව සිවිල් ජනතාව මත සෘජුවම පතිත වෙමින් පවතින බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.



