සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ තෙවන වගන්තිය යටතේ සිදුකරන ලද වැරදිවලට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබෙනවා.
සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් වෙත ලිඛිතව අදාළ දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වනවා.
අදාළ පනතේ වගන්තිවලට අනුව පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් හැක්කේ යම් කතාවක් හෝ ප්‍රකාශයක් මගින් යුද්ධය පැතිරවීම නැතහොත් වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචන්ඩ ක්‍රියාවලට යොමුකිරීම සංයුක්ත වන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීමක් කරන්නේ ද යන්න පරීක්ෂා කිරීමෙන් අනතුරුව බව පොලිස්පතිවරයා දැනුම් දී තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුකරන්නේ නම් එම අත්අඩංගුවට ගැනීමට පෙර අදාළ පොලිස් නිලධාරියා විසින් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා වෙත දැනුම්දී පූර්ව ලිඛිත අනුමැතියක් ලබාගත යුතු බව පොලිස්පතිවරයා දැනුම් දී තිබෙනවා.
විශේෂයෙන් යම් පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම්වලට පොදුවේ ජන සමාජයට හිත් රිදවීමක් හෝ අපහසයක්, දේව අපහාසයක් සිදුවූ පමණින් එය සිවිල් හා දේශපාලන අයිතිසිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනතේ තෙවන වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීමක් සිදුකිරීමට හේතුවක් ලෙස නොසැලකිය යුතු බව ද පොලිස්පතිවරයා නිකුත් කළ මාර්ගෝපදේශවල සඳහන් වනවා.
අදාළ විධි විධානවලට පටහැනිව කටයුතු කිරිම හෝ එම විධිවිධාන අවභාවිත කර ඇති බවට අනාවරණය වුවහොත් එම විමර්ශන නිලධාරින්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.



