පුත්තලම කොට්ටුකච්චිය ප්‍රදේශයේ පල්ලියක සේවය කරමින් සිටියදී 15 හැවිරිදි බාලවයස්කාර දැරියක දූෂණය කළ දේවගැතිවරයෙකුට පුත්තලම මහාධිකරණය මගින් පැනවූ වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම අභියාචනාධිකරණය ඊයේ (29) තහවුරු කළේය. දේව මෙහෙය සඳහා එක්වන ලෙස පවසමින් දැරිය තමා පදිංචිව සිටි නිවසට ගෙන්වාගෙන 2002 සහ 2003 වසරවලදී මෙම අපරාධය සිදුකර ඇති බව අධිකරණයේදී අනාවරණය විය.
දැරිය ගැබ් ගැනීමෙන් පසු සිද්ධිය හෙළිදරව් වී ඇති අතර, සිදු කරන ලද DNA පරීක්ෂණ මගින් දේවගැතිවරයා දරුවාගේ පියා බව තහවුරු වී තිබේ. 2025 වසරේදී පුත්තලම මහාධිකරණය මගින් විත්තිකරු වරදකරු කර වසර 10ක සිරදඬුවමක්, රුපියල් 10,000ක දඩයක් සහ වින්දිත දැරියට රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක් ගෙවීමට නියම කර තිබුණි. මෙම දඬුවමට එරෙහිව දේවගැතිවරයා ඉදිරිපත් කළ අභියාචනය නිෂ්ප්‍රභ කළ අභියාචනාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා, මහාධිකරණ තීන්දුව වෙනස් කිරීමට කිසිදු පදනමක් නොමැති බව අවධාරණය කළේය.



