බොලිවුඩ් නිළි ශිල්පා ෂෙට්ටිට රටින් පිටවීම සඳහා තිබූ තහනම යළිත් දීර්ඝ කර තිබෙනවා.
ඇයට එරෙහිව පවතින රුපියල් කෝටි 60 ක වංචා චෝදනා හේතුවෙන්, ඔක්තෝබර් 25 සහ 29 අතර කොළඹ, ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත යූටියුබ් (YouTube) වැඩසටහනක් සඳහා සහභාගී වීමට අවසර දෙන ලෙස ඇය විසින් ඉදිරිපත් කළ ඉල්ලීම බදාදා (අද) මුම්බායි මහාධිකරණය ප්‍රතික්ෂේප කළා.
ඇගේ එම විදේශ සංචාරය සඳහා වන ඉල්ලීම සලකා බැලීමට නම්, ෂෙට්ටි විසින් පළමුවෙන් අදාල වංචාවෙහි හිඟ මුදල ගෙවිය යුතු බව අධිකරණය පැහැදිලිව ප්‍රකාශ කළා. මෙම තීරණය මුම්බායි පොලිසියේ ආර්ථිකමය අපරාධ අංශය (EOW) විසින් මෙහෙයවනු ලබන පුළුල් විමර්ශනයක් ඔස්සේ සිදු කරන නඩු විභාගයකදී ගනු ලැබුවා.
ශිල්පා ෂෙට්ටිට සහ ඇගේ සැමියා වන රාජ් කුන්ද්‍රාට එරෙහිව නිකුත් කර ඇති සෝදිසි වරෙන්තුව තවමත් සක්‍රීයව පවතින බව මහාධිකරණ විනිසුරු මඬුල්ල නිරීක්ෂණය කළා. එයින් ඇඟවෙන්නේ අධිකරණයේ හෝ විමර්ශන ආයතනයේ පැහැදිලි අවසරයකින් තොරව ඔවුන්ට විදේශගත වීම නීත්‍යානුකූලව තහනම් බව.
ෂෙට්ටිගේ නීතිඥවරයා කොළඹ වැඩසටහනට සහභාගී වීමට අවසර ඉල්ලා සිටි විට, අධිකරණය නිල ආරාධනා පත්‍රයේ පිටපතක් ඉල්ලා සිටියා. නමුත් නීතිඥවරයා පිළිගත්තේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර ඇත්තේ දුරකථනයෙන් පමණක් බව. ඇයට ලිඛිතව ආරාධනාවක් ලැබෙනු ඇත්තේ අධිකරණයෙන් අවසර ලැබුණොත් පමණක් බව නීතිඥයා කීවා.
මෙම පැහැදිලි කිරීමෙන් සෑහීමකට පත් නොවූ අධිකරණය, විදේශ ගමන් සීමාව ඉවත් කිරීම ප්‍රතික්ෂේප කළා. යම් සංචාරක අවසරයක් ඉල්ලා සිටීමට පෙර මෙම යුවළ පළමුවෙන් කෝටි 60 ක වංචා චෝදනා නිරාකරණය කළ යුතු බව ප්‍රකාශ කළා. මෙම නඩුව නැවත ඔක්තෝබර් 14 වන දිනට විභාගයට ගැනීමට නියමිතයි.



