භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් සුපිරි වෙළඳසලකට ගොස් එහි මුදල් අයකැමි මේසය අසල ප්ලාස්ටික් බඳුනක තිබූ රුපියල් ලක්ෂ දොළහ හාමාරක මුදලක් සොරාගෙන පලා ගිය බව කියන යුවළක් අත්අඩංගුවට ගැනීමට බේරුවල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
බේරුවල මහගොඩ පරණ පාරේ පදිංචි මොහොමඩ් ඊබ්‍රාහිම් මොහමඩ් නසාර් යන අය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත.
තමා මහගොඩ සාවියා පාරේ සුපිරි වෙළෙඳසලක් පවත්වාගෙන යන අතර තමාට අමතරව තවත් තිදෙනකු එහි සේවය කරන බවත් සඳහන් කරන පැමිණිලිකරු පෙරේදා (06) ට යෙදුණු පොහොය දිනයේ සේවකයන් නොපැමිණීම හේතුවෙන් තමා තනිවම වෙළෙඳසලේ සිටි බවද පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
එදින පස්වරු 1.20ට පමණ කුඩා දරුවකුද වඩාගෙන වෙළෙඳසලට පැමිණි අයකු සහල් කිලෝ ග්‍රෑම් 02 බැගින්වූ පාර්සල් 05ක් සකස් කර දෙන ලෙස ඉල්ලූ බවත් ඒ සමගම පැමිණි ඔහුගේ බිරිඳ යැයි සිතිය හැකි කාන්තාවක් බිත්තර 15 බැගින්වූ පාර්සල් 05ක්ද සකසන ලෙස ඉල්ලූ බවත් පැමිණිලිකරු පොලිසියට පවසා ඇත.
තවද පසුව තමා බිත්තර පාර්සල් සකසා අවසන් කර බලන විට ඔවුන් දෙදෙනා නොසිටි බවද පසුව ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේදී ඔවුන් මුදල් අයකැමි මේසය අසල ප්ලාස්ටික් බඳුනක තිබූ රුපියල් ලක්ෂ දොළහ හාමාරක මුදල සොරාගෙන යන ආකාරය දැක ගත හැකිවූ බවද ඔහු පොලිසියට කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්වේ.
බේරුවල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එල්. සරත්චන්ද්‍රගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.



