ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිට ඉන්දියාවේ දිල්ලි නුවර බලා පියාසර කළ Kam Airlines RQ-4401මගී ගුවන් යානයක රෝද ගබඩා කරන කුටියේ සැඟවී ගමන් කළ දහතුන් හැවිරිදි පිරිමි ළමයෙකු එම අනතුරුදායක ගමනින් දිවි ගලවා ගැනීමට සමත්ව තිබේ.
පැය එකහමාරක පමණ කාලයක් පුරා කිලෝමීටර් 1000 කට ආසන්න දුරක් ගෙවා යානය දිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබෑමෙන් සුළු වේලාවකට පසු මෙම දරුවා ගුවන් පථයේ සැරිසරමින් සිටියදී බලධාරීන්ට හමු වී ඇත.
ඉන්දීය මධ්‍යම කාර්මික ආරක්ෂක බලකායේ නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු උතුරු ඇෆ්ගනිස්ථානයේ කුන්ඩුස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. තමා යානයට ගොඩ වූයේ කුතුහලය නිසා බවත්, එම යානය ඉරානයේ ටෙහෙරාන් නුවර බලා පියාසර කරන බවට වැරදි වැටහීමකින් යුතුව සිටි බවත් ඔහු බලධාරීන්ට පවසා තිබේ. කෙසේ වෙතත්, පැය කිහිපයක ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව, ඉන්දීය බලධාරීන් විසින් එදිනම ඔහුව එම ගුවන් යානයෙන්ම නැවත කාබුල් නුවර වෙත පිටත් කර හැරීමට කටයුතු කරන ලදී.
ගුවන් යානයේ රෝද ගබඩා කරන කුටිය පරීක්ෂා කිරීමේදී එහි තිබී කුඩා රතු පැහැති ශබ්ද විකාශන යන්ත්‍රයක් ද සොයාගෙන ඇත. මෙවැනි ස්ථානවල සැඟවී ගමන් කිරීම අතිශයින්ම අනතුරුදායක වන්නේ රෝද ඇතුළට ගැනීමේදී ඇතිවන තෙරපීම, ඉහළ අහසේදී ඔක්සිජන් මට්ටම අතිශයින් පහළ යාම සහ උෂ්ණත්වය හිමාංකයටත් වඩා පහත වැටීම වැනි හේතු නිසාය. මෙවැනි ගමන් වල යෙදෙන පුද්ගලයන්ගෙන් බහුතරයක් මරණයට පත්වන පසුබිමක, මෙම පිරිමි දරුවා කිසිදු තුවාලයකින් තොරව දිවි ගලවා ගැනීම විශේෂ සිදුවීමක් ලෙස සැලකේ.






