සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් HIV සහ ලිංගාශ්‍රිත රෝග (STI) වැළැක්වීමේ ක්‍රමවේදයන්, එනම් කොන්ඩම් භාවිතය, පෙර නිරාවරණ වළක්වා ගැනීමේ ප්‍රතිකාර (PrEP) සහ පසු නිරාවරණ වළක්වා ගැනීමේ ප්‍රතිකාර (PEP) ඇතුළත් කිරීමට නිර්දේශ කර තිබේ. මෙම නිර්දේශය ජූලි 25 වැනි දින පැවති ජාතික ඒඩ්ස් කමිටු රැස්වීමේදී අවධාරණය විය.
මෙම තීරණය අනුව, ජාතික අධ්‍යාපන ආයතනය (NIE) විසින් 10 ශ්‍රේණියේ විද්‍යා පෙළපොතට HIV/STI වැළැක්වීමේ ක්‍රම ඇතුළත් කිරීමට නියමිතයි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ පාසල් සිසුන්ට වයසට ගැළපෙන සහ විද්‍යාත්මක පදනමක් සහිත නිවැරදි තොරතුරු ලබා දීමයි.
වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය කියා සිටියේ, දැනට පවතින විද්‍යා සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන පෙළපොත්වල HIV වැළැක්වීම සඳහා “වගකීම් සහගත ලිංගික හැසිරීම්” පමණක් සඳහන් කර ඇති අතර, නිශ්චිත ජෛව වෛද්‍ය විද්‍යාත්මක වැළැක්වීමේ ක්‍රම පිළිබඳව විස්තර නොකරන බවයි.
“ජාතික ඒඩ්ස් කවුන්සිලයේ IEC, Advocacy, සහ Condom Promotion කමිටුව විසින් මෑතකදී සිදු කරන ලද සමාලෝචනයකින් අවධාරණය කළේ, මෙම තොරතුරු නොමැතිකම නිසා සිසුන් වැළැක්වීමේ ක්‍රමවේදයන් පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් නොලබන බවයි.”
වෛද්‍ය ධර්මකුලසිංහ මහත්මිය වැඩිදුරටත් පැවසුවේ, “2024 වර්ෂයේ ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්ෂණ (GSHS) වාර්තාවෙන් මෙම තීරණයේ හදිසි අවශ්‍යතාව තවදුරටත් තහවුරු වී තිබෙනවා. එම වාර්තාවට අනුව, HIV හෝ ඒඩ්ස් ගැන අසා ඇත්තේ සිසුන්ගෙන් 63%ක් පමණයි. එය 2016 වර්ෂයේ 77%ට සාපේක්ෂව විශාල පහත වැටීමක්. එසේම, පන්ති කාමරයේදී HIV ආසාදනය වළක්වා ගන්නා ආකාරය පිළිබඳ ඉගෙන ගත් සිසුන් සංඛ්‍යාව 2016 වර්ෂයේ 67.1%ක සිට 2024 වර්ෂයේදී 44.2% දක්වා අඩු වී තිබෙනවා. තවද, සිසුන්ගෙන් 4.6%ක් ලිංගික සම්බන්ධතා පවත්වා ඇති බව පිළිගැනීමෙන් කාලීන අධ්‍යාපනයක අවශ්‍යතාව මතු කරනවා.”
මෙම ගැටලුවට විසඳුමක් ලෙස, යුනෙස්කෝ (UNESCO) මාර්ගෝපදේශ අනුව සකස් කරන ලද “අපි ජීවිතය ඉගෙන ගනිමු” (Let’s Learn Life) නමින් නව විස්තීර්ණ ලිංගික අධ්‍යාපන වැඩසටහනක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සකස් කරමින් පවතී. මෙම වැඩසටහන ජෛව මනෝ සමාජීය ආකෘතියක් මත පදනම් වී ඇති අතර, එය මගින් දරුවන් අවදානම් තත්ත්වයන්ට මුහුණ දීමට පෙර වයසට ගැළපෙන දැනුම හා කුසලතා ලබා දීමට අපේක්ෂා කෙරේ. 2024 වර්ෂයේදී, ලිංගාශ්‍රිත රෝග සායන මගින් පාසල් සෞඛ්‍ය වැඩසටහන් 264ක් පවත්වා, සිසුන් 54,000කට වැඩි පිරිසකට දැනුම ලබා දී තිබේ.
විෂය නිර්දේශ ප්‍රතිසංස්කරණයට අමතරව, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරු පුහුණුව සඳහා ද ප්‍රමුඛතාව ලබා දෙනු ඇත.
“ගුරුවරුන් සහ පාසල් උපදේශකයින් HIV වැළැක්වීමේ ක්‍රමවේදයන් පිළිබඳ පුහුණුව ලැබීමට නියමිතයි. එමගින් ඔවුන්ට විශ්වාසයෙන් හා ස්ථාවරව මෙම පාඩම් ඉගැන්වීමට හැකි වනු ඇත,” ඇය වැඩිදුරටත් පැවසුවාය.
කෙසේ වෙතත්, මෙම නව සංවර්ධනයන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.