නිදන් හෑරීමක් සම්බන්ධයෙන් සැකපිට විශ්‍රාමික මේජර් ජනරාල්වරයකු ඇතුළු පස් දෙනකු පෙරේදා (23) රාත්‍රී කාලයේදී බෙලිඅත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් අය අතර කට්ටඩියෙකු ද සිටින බව පොලිසිය සඳහන් කරයි.
බෙලිඅත්ත දික්වැල්ල මාර්ගයේ දොලහේන වත්තට යන මාර්ගයේ අක්කර 12ක ඉඩමක මෙම පිරිස රැඳී සිටියදී අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
ගම්වැසියන්ගෙන් ලද ඔත්තුවට අනුව අත්ඩංගුවට ගැනීම සිදු කර තිබේ.
සිද්ධිය දුටු බව කියන ළමයින් පිරිසකගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ද විශේෂ පරීක්ෂණයක් සිදු වන බව පොලිසිය පවසයි.
ඊයේ (23) පස්වරුවේ ළමයින් පිරිසක් එම නිදන් හෑරූ බව කියන ඉඩමේ සරුංගල් යවමින් සිට ඇති අතර එම ස්ථානයට වයස අවුරුදු 17 ක පමණ ගැහැණු ළමයෙකු රැගෙන එන දුටු බවත් එම ළමයාගේ බෙල්ලට පිහියක් තබා ගෙන සිටිනු දුටු බවත් ළමයින් පොලිසියට පවසා තිබේ.
එම සාක්ෂි මත පදනම්ව නිදන් හෑරීමට බිල්ලක් ලෙස ගැහැණු ළමයකු යොදා ගත්තාද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ සිදු කෙරෙයි.
නිදන් ගැනීමට සූදානම් වූ බව කියන ස්ථානයේ කුකුළකු බැඳ තබා සිටියදී සොයාගෙන තිබෙනවා. පිදේනි තටු, දුම්මල, සාම්බ්‍රානි, ජෙනරේටර් දෙකක්, කඩුවක්, පිහි, ගෙජ්ජි, පහන් පැළ, තැඹිලි, පුහුල් ආදී ද්‍රව්‍ය රැසක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
විශ්‍රාමික මේජර් ජනරාල්වරයා හෝමාගම පදිංචිකරුවකු වන අතර සෙසු සැකකරුවන් හොරණ ගෝවින්න ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. මෙම විශ්‍රාමික මේජර් ජනරාල්වරයා හමුදාවේ ජනප්‍රිය චරිතයක් වන අතර ඔහු කලක් රණවිරු සේවා අධිකාරියේද ප්‍රධානියකු ලෙස කටයුතු කර තිබේ.
මේජර් ජනරාල්වරයා ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමන් නිධානයක් ගැන කිසිවක් නොදන්නා බවත් මෙම ඉඩම සිය බිරිඳයගේ පරම්පරාවට අයිති ඉඩමක් බවත් ය.
මේ වන විට ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ අපරාධ සම්බන්ධ නිල සුනඛ ඇලිස්කා මෙම ස්ථානයට ගෙන්වා යම් අපරාධයක් සිදුවී ඇත්දැයි පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා.
නමුත් මේ වන තෙක් පරීක්ෂණ කළද මෙම ස්ථානයේ බිලි දීමක් කළ බවට සලකුණු හෝ ගැහැණු ළමයෙකු සොයා ගැනීමට හැකිවී නෑ.
තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් සෙනෙවිරත්න ගේ උපදෙස් පරිදි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරත් විමර්ශන සිදු කෙරෙයි.