දින අටක් පුරා ක්‍රියාත්මක වූ තැපැල් වෘත්තීය සමිති වර්ජනය, විෂය භාර අමාත්‍යවරයා සහ බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
පසුගිය සතියේ ඉරිදා (17) ආරම්භ වූ මෙම වර්ජනය හේතුවෙන් දෙපාර්තමේන්තුවට සිදු වූ දෛනික ආදායම් අලාභය රුපියල් මිලියන 35 ඉක්මවූ බව වාර්තා විය.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු වන චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, අද (24) දින පැවති සාකච්ඡාවේදී ඇතිවූ එකඟතාවන් මත මෙම තීරණය ගත් බවයි.
ඔවුන් ඉදිරිපත් කළ මූලික ඉල්ලීම් 19න් 17කටම මාසයක් ඇතුළත විසඳුම් ලබා දීමට සැලසුම් සකස් කරන ලෙස අමාත්‍යවරයා විසින් තැපැල්පතිවරයාට උපදෙස් ලබා දුන් බවද ඔහු ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, සේවක අතිකාල දීමනා සහ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය සම්බන්ධ ඉල්ලීම් දෙකෙහි කිසිදු වෙනසක් සිදු කිරීමට අමාත්‍යවරයා එකඟතාව පළ කර නොමැත.
එම කරුණු සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුව තුළ ඉදිරියේදී ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරන බවද වෘත්තීය සමිති නියෝජිතයා වැඩිදුරටත් පැවසීය.
ඇඟිලි සලකුණ යනු රජයේ පොදු ප්‍රතිපත්තියක් බැවින් එය භාවිතයට ගැනීම ප්‍රතික්ෂේප කිරීමේ අදහසක් තම සංගම්වලට නොමැති බව චින්තක බණ්ඩාර මහතා අවධාරණය කළේය.
දැනටමත් වසර ගණනාවක් පුරා ඇඟිලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක වූ කාර්යාලවල එය අඛණ්ඩව පවත්වාගෙන යන බවත්, මධ්‍යම තැපැල් හුවමාරුවේ මේ වන විට එම යන්ත්‍ර සවි කරමින් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.
එම ක්‍රියාවලිය හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ රාජකාරී කටයුතුවලට යම් ගැටලුවක් මතුවේද යන්න පිළිබඳව තම වෘත්තීය සමිති නිරීක්ෂණයෙන් පසුවන බවද ඒ මහතා සඳහන් කළේය.