ආසන්න නිවසේ ජීවත් වූ පෙර පාසල් වියේ පසුවූ කුඩා දැරියක ඇගේ දෙමාපිය වැඩිහිටියන් නිවසේ නොමැති අවස්ථාවලදී තම නිවසට කැඳවාගෙන විත් වරින්වර පුරා මාස දෙකක පමණ කාලයක් තිස්සේ බරපතළ ලෙස ලිංගික අපයෝජනය කිරීම් ඇතුළු චෝදනා තුනකට වරදකරු කරනු ලැබූ 68 හැවිරිදි දෙදරු පියකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා බරපතළ වැඩසහිත වසර 60ක සිරදඬුවම් නියම කළේය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයාගේ නිගමනය වූයේ විත්තිකරු එකී චෝදනා තුනටම වරදකරු බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බැවින් එක් චෝදනාවකට වසර 20 බැගින් බරපතළ සිරදඬුවම් නියම කර එකී සිරදඬුවම් කාලය එනම් වසර 60 වෙන් වෙන්ව ගෙවීයන පරිදි ලබාදීමට ද නියෝග කරනා බවයි.
එයට අමතරව විත්තිකරුට රුපියල් තිස්දහසක දඩයක් හා වින්දිත පාර්ශ්වයට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවිය යුතු බවට ද නියෝග කළ විනිසුරුවරයා එකී දඩය හා වන්දිය නොගෙවන්නේ නම් අමතර වසර දෙකක ලිහිල් සිරදඬුවම් ලබාදීමට ද නියෝග කළේය.
ළාබාල දැරියකට සිදුකළ එකී අපරාධය තම අධිකරණය පමණක් නොව කිසිදු මනුෂ්‍යයකු අනුමත නොකරන මිනිස්කමට නිගා කරන අපරාධයක් වන බවත් එබැවින් නීතිය අනුව ලබාදිය හැකි උපරිම දඬුවම ලබාදීමට තම අධිකරණය කිසිසේත්ම නොපැකිළෙන බවත් විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා තීන්දුව ලබාදෙමින් පවසා සිටියේය.
එවකට 55 හැවිරිදි වියේ පසු වූ තැනැත්තකු වන විත්තිකරු එකී දැරියගේ සමීප ඥාතියකු (බාප්පා) බවත් වැඩිහිටි දියණියන් දෙදෙනකුගේ පියකු වන බවත් අධිකරණය ඉදිරියේ අනාවරණය විය.
සිය නිවසේ හා දැරියගේ නිවසේ කිසිවකුත් නොමැති අවස්ථාවලදී එම දැරියව සිය නිවසට කැඳවාගෙන ගොස් ජිල් බෝල ලබාදෙන බව පවසා එකී අපරාධය සිදුකර තිබූ බව විමර්ශණයේදී අනාවරණය වී තිබුනි.
විත්තිකරු ඒ බව ඇගේ මවට හෝ අන් කිසිවකුට පැවසුවහොත් ඒ ආකාරයෙන් තව තවත් සිදුකරන බවට තර්ජනය කොට දිගින් දිගටම එම අපරාධය සිදුකර ඇති බවත් විත්තිකරු සිය නිවසට පැමිණෙන අවස්ථාවලදී දැරිය බියපත් වී ඇඳන් යට හා දොරට මුවාවී සැඟවී සිටීමට පෙළඹවීම හා ‘අනේ අම්මේ ෂෙල්ටන් බාප්පට අපේ ගෙදරට එන්න දෙන්න එපා’ යැයි සිය මවට පවසා තිබූ බවත් පැමිණිල්ලේ සාක්ෂි මගින් අනාවරණය වී තිබිණි.
සිය දියණියව සෝදා පවිත්‍ර කරන විට ඇගේ රහස් ප්‍රදේශය ඇල්ලීමට හෝ ඉඩනොදීම හා පෙර කී කරුණු කෙරෙහි අවධානය යොමු කළ ඇගේ මව දිගින් දිගටම සිදුකළ ප්‍රශ්න කිරීමේදී විත්තිකරු කළ අපරාධය පිළිබඳව වින්දිත දැරිය අනාවරණය කර තිබිණි.
එකී ලිංගික හිංසන නිසා දැරිය දැඩි ලෙස මානසික පීඩනයකට පත්ව තිබූ බවත් දෙමාපියන් වෙනත් ප්‍රදේශයට පදිංචියට ගොස් තිබූ නමුත් ඉන් වසර කීපයකට පසුව වින්දිත දැරිය ගිහිගෙය හැර යෑමට තරම් එකී පීඩනය බලපා තිබූ බවත් සාක්ෂි විභාගයේදී අනාවරණය වී තිබිණි.
එම දැරිය වාසය කළ ප්‍රදේශවලට ගොස් තමන්ට එරෙහිව සාක්ෂි ලබානොදෙන තත්ත්වයකට ඇයගේ මානසික පීඩනය වැඩි කිරීමට විත්තිකරු හා ළමා ආරක්ෂණ නිලධාරීන් ලෙස පෙනී සිටි විත්තිකරුගේ හිතවතුන් පියවර ගෙන තිබූ බව ද අනාවරණය වී තිබිණි.