ජපානයෙන් ආනයනය කරන ආසන 27 බස් රථයක් මෙරටදී අලෙවි කිරීමට සිදුවන්නේ රුපියල් කෝටි දෙකහමාරක පමණ ඉහළ මුදලකට බවත් ජපානයේ ලොරි රථ ආදියෙහිද මිල ගණන් ඉහළ ගොස් ඇති බවත් වාහන ආනයනකරුවෝ පවසති.
ප්‍රවාහන වාහන ආනයනයට අදාළව රජය විසින් රෙගුලාසි නිකුත් කර ඇතත්, වාහන ගෙන්වීමට අදාළ බදු සම්බන්ධ ගැසට් නිවේදන නිකුත් කර නොතිබීම නිසා තවමත් වාහන ආනයනය කිරීමට නොහැකි බවද ඔවුහු කියා සිටිති.
වාහන ආනයනට අදාළ බදු ප්‍රතිශතයන් රජය කඩිනමින් ප්‍රකාශයට පත් කරන්නේ නම් ලොරි, ඩබල් කැබ්, වෑන් ආදිය ආනයනය කළ හැකි බවද වාහන ආනයනකරුවන් සඳහන් කරති.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ වාහන මිලෙහි යම් වැඩිවීමක් සිදුවන බවය.
වාහන සඳහා බදු සම්බන්ධව යම් ගැටලු තත්ත්වයක් පවතී නම් ඒ සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ට මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා සමග සාකච්ඡා කිරීමේ හැකියාව පවතින බවද ඇමැතිවරයා පැවසීය. -අරුණ