මිනිස් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටි කාන්තාවන් 08 ක් ඇතුළු 27 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ඊයේ පස්වරුවේ බැංකොක් සිට කටුනායකට පැමිණි UL 405 ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ලංකාවට පැමිණ තිබේ.
මිනිස් ජාවාරම්කරුවන්ගේ මුදාගත් කණ්ඩායම නීති විරෝධී සයිබර් අපරාධ මෙහෙයුම්වලට සම්බන්ධ මිනිස් ජාවාරම් වලට බලහත්කාරයෙන් යොදවා සිට ඇත.
මිනිස් ජාවාරම්කරුවන්ට ගොඳුරු වී සිටින ශ්‍රී ලංකිකයන් ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනම් කරන ලෙස 2024.11.25 වන දින විශේෂ රැස්වීමක් කැඳවමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් උපදෙස් අනුව මියන්මාර සහ තායිලන්ත රජයන් සමඟ දෙරටේ තානාපතිවරු සාකච්ඡා කරමින් අඛණ්ඩ සම්බන්ධීකරණයක් පැවැත් වූ අතර ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ සංක්‍රමණිකයන් සඳහාවන ජාත්‍යන්තර සංවිධානයන්හි සහ ජාවාරමට ලක් වූ ශ්‍රී ලාංකිකයන්ගේ පවුල් නියෝජනය කළ පුජ්‍ය මාලිගාවිල අස්සජි හිමියන්ගේ සහාය ද ඊයේ පැමිණි 27 දෙනා මුදවා ගැනීමේ මෙහෙයුමට හිමි වූ බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
මුදවාගෙන පැමිණි එම කණ්ඩායම විශේෂ ගේට්ටුවකින් ඔවුන් පදිංචි ස්ථාන කරා ආරක්ෂිතව රැගෙන යාමට කටයුතු යොදා තිබුණි.
තවත් 14 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මියන්මාරයේ මිනිස් ජාවරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටින බවට වාර්තාවන්නේ යැයි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලය පවසයි. එම කාර්යාලය පවසන්නේ ඔවුන් මුදවා ගැනීම සඳහා ද අවශ්‍ය කටයුතු යොදා ඇති බවය.
නව රජය පත් වීමෙන් පසු (2024.11.01 සිට 2024.12.16 දක්වා) නොවැම්බර් මස 25 දා 32 දෙදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ද ඇතුළුව මියන්මාරයේ මිනිස් ජාවාරම් කඳවුරුවල සිර වී සිටි 63ක් දිවයිනට පැමිණ තිබේ. ඊට පෙර අප්‍රේල් මාසයේ 08 දෙනෙකු සහ අගෝස්තු මාසයේ 20 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් දෙකක් ඇතුළුව වරින් වර 62ක් (2022.12.03 සිට 2024.10.10 දක්වා) පැමිණ ඇත.
මිනිස් ජාවාරම් වල ගොදුරු බවට පත් නොවීම සඳහා බලයලත් ක්‍රියා පටිපාටිවලට අනිවාර්යයෙන් අනුගත වන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.