ලෝකයේ දියුණුම රටවල් භාවිතා කරන 04 වන පරම්පරාවේ දියර පොහොර නිෂ්පාදන කර්මාන්තශාලාවක් මෙරට තුළ ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය තාක්ෂණය රැගත් දකුණු කොරියානු ආයෝජකයන් දෙදෙනෙකු ඊයේ (16) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
ඒ ශ්‍රී ලංකාවේ ගොවිතැන සාර්ථක කර ගැනීම සදහා කුඩා බිම් ප්‍රමාණයක වගා කර වැඩි අස්වනු ප්‍රමාණයක් ලබා ගත හැකි නවීන තාක්ෂණයෙන් යුතු දියර පොහොර කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහාය.
දකුණු කොරියාවේ පිහිටි එම මව් සමාගමට අයත් සමාගම් 68 ක් ලොව පුරා ක්‍රියාත්මකවන අතර මෙම පොහොර තුළ බැර ලෝහ මෙන්ම අන්තරායක විෂ රසායන ද්‍රව්‍ය අඩංගු නොවන අතර මිනිස් පරිභෝජනයට ඉතා හිතකර වීම විශේෂත්වයකි.
අති නවීන තාක්ෂණයෙන් නිෂ්පාදනය වන මෙම පොහොර වල මිළ ගණන් සාපේක්ෂ වශයෙන් දැනට භාවිතා කරන 01 වන හෝ 02 වන පරම්පරාවේ පොහොර මිළ ගනන් වලට වඩා සැලකියයුතු මට්ටමකින් අඩු මට්ටමක පවතින අතර ඒවා ගොවි බිම තුළට ඩ්‍රෝන තාක්ෂණය මගින් ඉසීම සිදු කළ හැකිය.
ශ්‍රී ලාංකික ආයෝජකයෙකු වන බුද්ධික හේවගේ මහතා සමග එක් වී දකුණු කොරියාවේ එම පොහොර කර්මාන්තශාලාව ශ්‍රී ලංකාව තුළ නව කර්මාන්තශාලාවක් ලෙස ස්ථාපිත කිරීමට අවශ්‍ය ශඛ්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට මෙම ආයෝජකයන් බලාපොරොත්තු වන අතර මෙම ආයෝජකයන් දෙදෙනා දැනට වසර 03 ක සිට දකුණු කොරියාවේ සිය නිෂ්පාදිත පොහොර ශ්‍රී ලංකාවට සැපයීම සිදු කරමින් පවතී.
මෙම සමාගම ලෝකයේ රටවල් 14 ක් වෙත අපනයනය කරන අතර එම ඇනවුම් ද සමග මෙම නව කර්මාන්තශාලාව මෙරටට තුළ ස්ථාපිත කිරීමට ඔවුන් අදහස් කර තිබේ.
මීට අමතරව මෙම කර්මාන්තශාලාව තුළ වාහන වලින් පිට කෙරෙන කාබන්මොනොක්සයිඩ් වායුව නිසා වායු ගෝලයට සහ පරිසරයට සිදු වන බලපෑම අවම කිරීම සදහා දකුණු කොරියාවේ හයිහුන්ඩායි සමාගම සමග එක්ව නිෂ්පාදනය කර ඇති උපකරණ පද්ධතියක් ද නිෂ්පාදනය කර මෙරට වාහන හිමියන් වෙත ලබාදීමට ද මෙම ආයෝජකයන් අදහස් කර ඇත.
ඒ සදහා වත්මන් රජයේ කෘෂිකර්ම පරිසර , ප්‍රවාහන , සහ කර්මාන්ත අමාත්‍යවරුන් ඇතුළු රජයේ උසස් නිලධාරීන් මුණ ගැසී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම නව තාක්ෂණික , 04 වන පරම්පරාවේ දියර පොහොර සහ වායු දූෂණය අවම කිරීමේ උපාංග කර්මාන්තශාලාව මාතර ප්‍රදේශයේ ස්ථාපිත කර එහි නිෂ්පාදන ලොව පුරා අලෙවි කිරීමට සැළසුම් කර ඇති බව ද එම ආයෝජකයන් පවසයි.