උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම දෙපාර්තමේන්තුවට අනුව, ඊයේ (24) රාත්රී 11.30 වන විට මෙම පද්ධතිය උතුරු අක්ෂාංශ 15.5° සහ නැගෙනහිර දේශාංශ 91.0° ආසන්නයේ කේන්ද්රගතව පැවතිණි.
අද (25) දිනයේදී මෙම පද්ධතිය නැගෙනහිර-මධ්යම බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොනදිග මුහුදු ප්රදේශය හරහා ගමන් කරමින් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවද සඳහන් වේ.
එය තවදුරටත් බටහිර-වයඹ දෙසට ගමන් කරමින් හෙට (26) උදෑසන වන විට සුළි කුණාටුවක් බවටත්, ඔක්තෝබර් 27 වනදා උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර-මධ්යම මුහුදු ප්රදේශය ආශ්රිතව ප්රබල සුළි කුණාටුවක් බවටත් තීව්ර වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
🌧️ ශ්රී ලංකාවටත් වැසි වැඩිවීමේ අවදානමක්!
මෙම පද්ධතියෙන් ශ්රී ලංකාවට සෘජු බලපෑමක් නොමැති වුවද, එය වෙත ඇදී යන සුළං ප්රවාහය දිවයින හරහා පවතින බැවින් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්රදේශවල වැසි තත්ත්වය තවදුරටත් වැඩි විය හැකි බවට අනාවැකි පළ කර තිබේ.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ අනුරාධපුර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
මෙම ප්රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වීමේ හැකියාවද පවතී.
ඌව පළාතේ මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලත් පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වේ.
💨 පැයට කිලෝමීටර් 50ක පමණ තද සුළං!
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්රික්කවලත් පැයට කිලෝමීටර් 40–50ක පමණ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
⚠️ ජනතාවට විශේෂ දැනුම්දීමක්!
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
📌 විශේෂයෙන්ම තද වැසි ඇති විය හැකි ප්රදේශවල ජනතාව කාලගුණ අනාවැකි සහ නිල අනතුරු ඇඟවීම් පිළිබඳව අවධානයෙන් පසුවන්න.



