සීනි අන්තර්ගත දියර ආහාර සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නියෝග සංශෝධනය කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින්, 1980 අංක 26 දරන ආහාර පනතේ 32 වන වගන්තිය යටතේ මෙම සංශෝධන නියෝග නිකුත් කර ඇති අතර, ඒවා ජුනි 23 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති බවයි සඳහන් වන්නේ.
නව සංශෝධන අනුව, සීනි අන්තර්ගත දියර ආහාරවල ඇසුරුම් මත ප්‍රදර්ශනය කළ යුතු රතු, ඇම්බර් සහ කොළ වර්ණ සංකේත ලාංඡනවල සැලසුම සහ ප්‍රදර්ශන ආකාරය පිළිබඳ නව නියමයන් හඳුන්වා දී තිබෙනවා.
මෙම සංශෝධන මඟින් "ව්‍යාපාරයකින් ව්‍යාපාරයකට" (Business to Business) සැපයෙන ආහාර නිෂ්පාදන සඳහා ද නව අර්ථ නිරූපණයක් ඇතුළත් කර ඇති අතර, එවැනි නිෂ්පාදන සෘජුව පාරිභෝගිකයන්ට අලෙවි නොකර, තවදුරටත් සැකසීම, පිළියෙළ කිරීම හෝ නැවත විකිණීම සඳහා පමණක් භාවිත කරන ආහාර ලෙස අර්ථ දක්වා තිබෙනවා.
එම ගැසට් නිවේදනයට අනුව, මිලිලීටර් 100 ක සීනි ග්‍රෑම් 08කට වැඩි බීම සඳහා රතු වර්ණයත්, ග්‍රෑම් 2.5 සිට 8.0 දක්වා ඇම්බර් වර්ණයත්, ග්‍රෑම් 2.5 ට අඩු බීම සඳහා කොළ වර්ණයත් යොදාගත යුතු බවට නව උපලේඛනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



