පසුගිය සතියේ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු නොසන්සුන්කාරී තත්ත්වයෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් අටදෙනාට (08) බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් උසස්වීම් පිරිනමා තිබේ.
මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීමෙන් බන්ධනාගාර නිලධාරීන් අටදෙනෙකු සහ රැඳවියන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
ඒ අනුව, මියගිය දෙවැනි ශ්‍රේණියේ ජේලර් එස්.එච්.එස්. චන්ද්‍රවංශ පසු පළමු ශ්‍රේණියේ ජේලර් ධූරයට උසස් කර ඇති අතර, ජීවිතක්ෂයට පත් අනෙකුත් බන්ධනාගාර නියාමකවරුන් බන්ධනාගාර සැරයන් ධූරය දක්වා උසස් කර ඇත.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පවරා ඇති අතර, මීගමුව සහ කොළඹ ජාතික රෝහල්වල ප්‍රතිකාර ලබන තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම දැනටමත් ආරම්භ කර තිබේ.
පොලිසිය ප්‍රකාශ කළේ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන තුවාල ලැබූ නිලධාරීන් සහ රැඳවියන් 29 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.
විමර්ශකයන් පවසන පරිදි, ප්‍රකාශ ලබාදුන් රැඳවියන් චෝදනා කර ඇත්තේ මෙම බන්ධනාගාර නොසන්සුන්තාවයේ ප්‍රධාන භූමිකාවක් ඉටුකළ බවට සැකකෙරෙන ‘කටුවැල්ලේගම සුරේෂ්’ නමැති රැඳවියාට සම්බන්ධ කණ්ඩායමක් විසින් තමන්ට පහරදුන් බවයි.
තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම් තවදුරටත් සිදුකෙරෙන අතර, ඔවුන්ගෙන් ඇතැමකුගේ සෞඛ්‍ය තත්ත්වය තවමත් යහපත් මට්ටමක නොමැති බැවින් එම ක්‍රියාවලිය මෙතෙක් සම්පූර්ණයෙන්ම අවසන් කර නොමැත.
මේ අතර, මීගමුව බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටි සියලුම කාන්තා රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවීමට පියවර ගෙන ඇත.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බන්ධනාගාර සැරයන් ගමගේ උපාලිගේ ගේ දේහය සිකුරාදා (10) කඹුරුපිටියේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ගිය අතර, මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවෙන් මියගිය තවත් නිලධාරියකු වන බන්ධනාගාර සැරයන් රුවන් තිලකසිරිගේ අවසන් කටයුතු සිකුරාදා (10) දින සිදුකෙරිණි.



