මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (27) පෙරවරුවේ බන්ධනාගාරයෙන් පලායාමට උත්සාහ කිරීමේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයකින් පසු මියගොස් තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි අදාළ රැඳවියන් දෙදෙනා බන්ධනාගාරයෙන් පලායාමට උත්සාහ කළ අවස්ථාවේදී එහි සිටි බන්ධනාගාර නිලධාරියෙකු එය වැළැක්වීමට උත්සාහ කර ඇති අතර, එහිදී ඇති වූ පොරබැදීමක් අතරතුර මෙම සැකකරුවන් දෙදෙනා ඇද වැටී තිබේ.
එම අවස්ථාවේදීම එක් සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් සැකකරු සහ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරියා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරිණි.
පසුව රෝහලේදී දෙවන සැකකරු ද මියගොස් ඇති බව බලධාරීහු තහවුරු කළහ.
කෙසේ වෙතත්, මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් මෙම මරණ සම්බන්ධයෙන් දැඩි සැකයක් මතු කරයි.
බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවට ඔවුහු චෝදනා කරති.
මෙම සිදුවීමට අදාලව බන්ධනාගාර ජේලර්වරයෙකු හා නියාමකවරයෙකු බොරැල්ල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ නියෝග මත කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ බොරැල්ල පොලිසිය, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය හා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විර්මශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



