මත්තල, උඩමත්තල ප්‍රදේශයේ පදිංචි 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි පාසල් සිසුවෙකු, පාසල් ක්‍රිකට් තරගයක් අතරතුර ඇති වූ බව කියන ආරවුලකින් පසු එල්ල වූ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (01) රාත්‍රියේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. කරාපිටිය ජාතික රෝහලේදී මෙම මරණය සිදුව ඇති අතර, මියගිය සිසුවාගේ මව විසින් රෝහල්ගත කළ දිනයේම මත්තල පොලිසියට ලබා දුන් ප්‍රකාශයකට අනුව, එම විද්‍යාලයේම 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් මෙම පහරදීම සිදු කර ඇත.
පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ පහරදීම සිදුවූ බව කියන දිනයේ මියගිය සිසුවා පාසලේ කාලපරිච්ඡේද හතරක් පමණක් නිමවා අනතුරුව සිය පාපැදියෙන් නිවස බලා පැමිණ ඇති බවයි. ඉන්පසුව, පසුගිය 23 වන දින ඔහු නිවසේ නාන කාමරය තුළ ඇදවැටී සිටියදී දෙමාපියන් විසින් රෝහල්ගත කර ඇති අතර, එහිදී ඔහුගේ හිසෙහි බරපතළ තුවාල දක්නට ලැබුණු බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙලෙස කරාපිටිය ජාතික රෝහල වෙත මාරු කර යවා තිබුණි.
මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් මත්තල පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, පහරදුන් බවට චෝදනා එල්ල වන සැකකාර සිසුවා සහ අදාළ පන්තිභාර ගුරුවරයාගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකාර සිසුවා පොලිසිය වෙත කැඳවා ඇති අතර, මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (02) කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත.



