ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මෙම අසීරු අවස්ථාවේ දී අවශ්‍ය රුසියානු තෙල් කඩිනමින් සැපයීමට පියවර ගන්නා බවත්, රුසියානු ආයෝජකයන් ලංකාවේ නව ආයෝජන සඳහා යොමු කිරීමට මෙන්ම තව තවත් සංචාරකයන් මෙරටට එවීමට උපරිම උත්සාහ ගන්නා බවටත් රුසියාවේ නියෝජ්‍ය විදේශ ඇමැති ඇන්ඩ්‍රි රොඩෙන්කෝ මහතා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත් මහතා වෙත පොරොන්දු වී තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි රොඩෙන්කෝ මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් 02 දා අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ රුසියානු නියෝජ්‍ය විදේශ ඇමැතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව අතිශය සුන්දර රටක් බවත් එහි සිටින ජනතාව ඉතා සුහදශීලී ජනතාවක් බවත් ලංකාවට පැමිණි රුසියානු ජාතිකයන්ගෙන් තමන්ට දැනගන්නට ලැබුණු බවයි. ශ්‍රී ලංකාව රුසියාවේ ඉතාමත් පැරණි මිතුරකු බව සිහිපත් කළ ඒ මහතා, මෙම දීර්ඝකාලීන සුහදතාවය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බවට ද සහතික කළේය.
තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවට සහයෝගය අවශ්‍ය සෑම අවස්ථාවකම ඒ වෙනුවෙන් පෙනී සිටීමට රුසියාව සූදානමින් සිටින බවයි. එසේම දෙරටේ පැරණි මිතුදම වෙනුවෙන් ඕනෑම ආකාරයක සහයෝගයක් ලබාදීමට එකඟ වී ඇති ඒ මහතා, රුසියාවේදී මියගිය ශ්‍රී ලාංකික ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් වන්දි ගෙවීමට අවශ්‍ය පියවර ගැනීමට ද මෙහිදී එකඟතාව පළ කර ඇත.
ශ්‍රී ලංකාව දැඩි බලශක්ති අවශ්‍යතාවයකින් පසුවන අවස්ථාවක අපගේ පැරණි මිතුරකු වන රුසියානු රජය විවිධාකාරයෙන් උපකාර කිරීමට ඉදිරිපත් වීම දැඩි සේ අගය කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත. වසර 70කට ආසන්න කාලයක් පවතින දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සුදුසුම කාලය එළඹ ඇති බව පවසා ඇති ඇමැතිවරයා, ඉදිරි කාලයේදී රුසියාව සමග තවත් දීර්ඝකාලීන වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට කටයුතු කරන බවද මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.



