නාවල දකුණ ණය ගනුදෙනු සමුපකාර සමිතියේ රුපියල් කෝටියක ස්ථාවර තැන්පතුවක් ආපසු ලබා නොදී වංචා කිරීමේ චෝදනාව මත අදාළ සමිතියේ භාණ්ඩාගාරිකවරිය සහ කළමනාකාරිනිය කොළඹ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය මාර්තු 30 වන දින මොවුන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන අප්‍රේල් 7 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
වාර්තා වන ආකාරයට මෙම සැකකාරියන් දෙදෙනා එකම පවුලේ මව සහ දියණිය වන අතර, ඔවුන් වසර තුනක පමණ කාලයක සිට අදාළ තැන්පතු මුදල ආපසු ගෙවීම හිතාමතාම පැහැර හැර ඇති බවට කරුණු අනාවරණය වී ඇත.
මෙම බරපතල මූල්‍ය වංචාව සම්බන්ධයෙන් තැන්පත්කරුවන් විසින් මහරගම පිහිටි එහි මව් සංගමයට සහ බස්නාහිර පළාත් සමුපකාර කොමසාරිස්වරයා වෙත වසර තුනක පමණ කාලයක සිට දිගින් දිගටම පැමිණිලි කළ ද, ඉන් කිසිදු සාධාරණ පියවරක් ගෙන නොමැති බවට චෝදනා එල්ල වේ.
තවද, මෙම මූල්‍ය වංචාවෙන් පසුව සැකකාර මව සහ දියණිය සිය ස්ථිර පදිංචිය ද අතහැර ගොස් ඇති අතර, ඉන් අනතුරුව ඔවුන් අදාළ සමුපකාර සමිතියේ රැස්වීම් නාවල විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිට පිහිටි විහාරස්ථානයක රහසිගතව පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.



