අඟුරුවාතොට, ඈගල්හේන ප්‍රදේශයේ නිවසක තබා තිබූ පෙට්‍රල් බූලියකට ගිනි ඇවිලීම හේතුවෙන් එම නිවසට දැඩි අලාභහානි සිදුව තිබේ. වෘත්තියෙන් ගස් කපන්නෙකු වන නිවෙස් හිමියා, සිය රාජකාරි කටයුතු සඳහා නිත්‍යානුකූල බලපත්‍රයක් යටතේ රැගෙනවිත් තිබූ ලීටර් 5ක පෙට්‍රල් බූලියක් මෙලෙස ගින්නට ගොදුරු වී ඇත.
මූලික තොරතුරු වලට අනුව, නිවෙස් හිමියා දුම්වැටියක් දල්වා දැල්වූ ගිනිකූර පෙට්‍රල් බූලිය දෙසට විසිකිරීමත් සමඟ මෙම අනතුර සිදුව තිබේ. සිද්ධිය වන අවස්ථාවේ ඔහුගේ බිරිඳ සහ දරුවන් මිත්තනියගේ නිවසට ගොස් සිට ඇති බැවින් නිවසේ සිට ඇත්තේ ඔහු පමණකි.
ඇවිලී ගිය ගින්න පාලනය කිරීමට නිවැසියා දැඩි උත්සාහයක නිරත වුවද එය ව්‍යර්ථ වී ඇති අතර, එහිදී සිදුවූ තුවාල හේතුවෙන් ඔහුව හොරණ මූලික රෝහලට ඇතුලත් කර ඇත. අනතුර පිළිබඳ සැලවීමත් සමඟ ප්‍රදේශවාසීන්, අඟුරුවාතොට පොලීසිය සහ හොරණ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ගින්න නිවා දැමීමට කටයුතු කළහ. කෙසේ වෙතත්, ගින්නෙන් නිවසේ සාලය සහ කාමර දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



