ඊයේ (21) දින සිදුවූ ඉතිහාසයේ දැවැන්තම ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ අද (22) දිනයේදී දිවයින පුරා පෞද්ගලික බස් රථ 90%ක් පමණ ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ, මෙම අසාමාන්‍ය මිල ඉහළ යාම හමුවේ තවදුරටත් පාඩු ලබමින් බස් රථ ධාවනය කළ නොහැකි බව බස්රථ හිමියන් තමා වෙත දැනුම් දී ඇති බවයි.
ඒ අනුව, කඩිනම් නව බස් ගාස්තු සංශෝධනයක් අනුමත කරන තෙක් බස් රථ ධාවනයට එක් නොවන බවට එම සංගමය දැඩි ස්ථාවරයක සිටියි.
දෛනිකව ගමන් බිමන් යන මගී ජනතාවට මෙමගින් දැඩි අපහසුතාවයක් එල්ල වී ඇති අතර, කඩිනම් බස් ගාස්තු වැඩිවීමක් සමඟින් පමණක් යළි බස්රථ ධාවනය ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටී.



