කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (02) පැමිණීමට සහ පිටත්වීමට නියමිත ගුවන් යානා 115 ක ගුවන් ගමන් වාර අවලංගු කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා කියා සිටී.
ඒ මැදපෙරදිග කලාපයේ මේ වනවිට උද්ගතව වී ඇති යුදමය වාතාවරණයත් සමග එම කලාපයේ රටවල් තම ආරක්ෂාව පතා ගුවන් අවකාශයන් වසා දැමීම නිසාය.
ඒ අනුව මැදපෙරදිග කලාපයේ රටවල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ශ්‍රී ලන්කන් ඇතුළු අනෙකුත් විදේශීය ගුවන් සේවා යානාවල ගමන් වාර 55 ක් සහ කටුනායක ගුවන් තොටුපොළෙන් එම කලාපය බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 60 ක් අවලංගු වී තිබේ.
එසේම ඉකුත් 28 දින දහවල් මැදපෙරදිග බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබූ ෆිට්ස් එයාර් සහ එයාර් ඇරේබියා ගුවන් යානා දෙක එදින පස්වරුවේ එම කලාපයට පිවිසීමට නොහැකිව, යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එමෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු කිසිදු ගුවන් යානයක් මෙම පසුබිම යටතේ මැදපෙරදිග කලාපයේ රටවල, මෙරටට පැමිණීමට නොහැකිව රඳවා තබා නොමැති බව, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා මාධ්‍යට පවසා ඇත.
ගමනාන්තය ලෙස මැදපෙරදිග කලාපයේ රටවල් කරා යන ගුවන් මගීන් සහ එම කළාපය ඔස්සේ වෙනත් රටවල් කරා යන ගුවන් මගීන්, ඒ සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට පෙර, ඔවුන්ගේ ගුවන් ගමන් නියෝජිතවරු වෙතින් ඒ පිළිබඳ විමසීම සිදු කළ යුතු බව කටුනායක ගුවන් තොටුපොළ මීට පෙර නිලවශයෙන් නිවේදනය කර තිබිණි.
එසේම මේ වනවිට මෙරට තුළ රැඳී සිටින, වීසා කාලය අවසන් වී ඇති විදේශීය සංචාරකයන් සඳහා වීසා කාලය දින 07 කින් දිගු කිරීමට අවශ්‍ය පියවර ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.



