මහනුවර ප්‍රදේශයේ බාල වයස්කාර පිරිමි ළමයින් 36 දෙනෙකු බියගන්වා අපයෝජනයට ලක් කිරීමේ මහා පරිමාණ ජාලයට සම්බන්ධ, සමාජයේ ඉහළ තනතුරු දරන තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන පොල්තෙල් ව්‍යාපාරිකයා සහ තවත් ඉංජිනේරුවරයෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, ඔවුන් සමඟ අපයෝජන ක්‍රියාවලියට එක්වූ සෙසු පිරිස මෙලෙස හඹා යමින් පවතියි.
අපයෝජනයට ලක්වන දර්ශන රූගත කර ඒවා සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට තර්ජනය කරමින් වරින් වර මෙම දරුවන් අපයෝජනයට ලක් කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ. ප්‍රධාන සැකකරු සන්තකයේ තිබූ එවැනි වීඩියෝ දර්ශන රැසක් ද පොලිසිය භාරයට ගෙන ඇති අතර, මොවුන් මෙම අපරාධය සඳහා ස්ථාන තුනක් යොදාගෙන ඇති බව ද අනාවරණය වී ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ දරුවන් සමඟ සබඳතා ගොඩනඟා ගනිමින් මෙම ජාලය මෙහෙයවා ඇති අතර, මෙලෙස අපයෝජනයට ලක්වූ තවත් දරුවන් සිටින්නේ දැයි සොයා ගැනීමට ද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.



