ජාත්‍යන්තර රතු නිවේදන (Red Notices) නිකුත් කර සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 34 හැවිරිදි "කෙසෙල්වත්තේ දිනූෂ" නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) කණ්ඩායමක් විසින් ඊයේ (24) පස්වරුවේ මෙරටට රැගෙන එනු ලැබීය.
ඉන්දීය රජය සහ එරට ආරක්ෂක අංශ සමඟ ශ්‍රී ලංකා රජය පැවැත්වූ ඉහළ මට්ටමේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු කටුනායක ගුවන්තොටුපොළේදී මෙරට බලධාරීන් භාරයට ගෙන තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් ඉන්දීය බලධාරීන් සමඟ කළ සම්බන්ධීකරණය මෙම පිටුවහල් කිරීමට මූලික වී ඇත.
මෙම සැකකරුට එරෙහිව බරපතළ ගණයේ අපරාධ චෝදනා රැසක් අධිකරණ කිහිපයකම විභාග වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. 2015 වසරේ කේසල්වත්තේදී සිදු කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් පුද්ගල ඝාතනයක් කිරීම, 2018 වසරේ කොටහේන ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සහ 2021 වසරේ මට්ටක්කුලියේදී සිදු කළ තවත් ඝාතනයක් මීට ඇතුළත් වේ.
මීට අමතරව ජීව අත්බෝම්බ සන්තකයේ තබා ගැනීම, කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව චෝදනා පවතී. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු මේ වන විට කේසල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා වෙත භාර දී තිබේ.



