විවිධ ගැටලුවලට ලක්වීම හේතුවෙන් ප්‍රමාද වී තිබූ ඩොප්ලර් රේඩාර් ව්‍යාපෘතියේ කටයුතු ජයිකා (JICA) ආයතනය විසින් නැවත ආරම්භ කර මේ වනවිට නිසියාකාරව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජයිකා ආයතනය විසින් ඉකුත් වර්ෂයේ දී (2024) මෙකී ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නැවත ආරම්භ කර තිබූ අතර 2024 වර්ෂයේ අත්සන් කරනු ලැබූ සංශෝධිත ගිවිසුමට අනුව එහි කාලය 2028 වර්ෂයේ ජුලි මස 15 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.
කාලගුණ තොරතුරු නිරීක්ෂණය හා පුරෝකථනය කිරීමට සහ බෙදා හැරීමට මෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ධාරිතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙකී ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණි. ඩොප්ලර් රේඩාර් පද්ධතිය පුත්තලම කාලගුණ මධ්‍යස්ථාන භූමියේ ස්ථාපනය කිරීම සඳහා 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කාලයේ දී වෙන්කොට තිබූ මුදල රුපියල් මිලියන 1965.08කි. එහෙත් 2024 වර්ෂය අවසන් වන විට එම මුදලින් වියදම් කර ඇත්තේ රුපියල් මිලියන 0.740ක මුදලකි.
මෙකී ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ගිවිසුම්ගත වී වසර හයකට අධික කාලයක් ගතවී තිබුණි. ව්‍යාපෘතියේ කටයුතු 2020 වර්ෂයේ දී අවසන් කළ යුතුව පැවතුණි. 2024 වර්ෂය අවසන් වන විට මෙකී ව්‍යාපෘතියේ භෞතික ප්‍රගතිය සියයට 25ක් පමණක් වී තිබුණි.



