ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කර ඇති බව කියන ‘සෞඛ්‍ය ගිවිසුම’ ඇගයුම් කමිටුවක් මගින් යළි පසු විපරමක් කරන තෙක් එම ගිවිසුම අත්හිටුවන ලෙසට බල කරමින් වෘත්තීය හා සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ (24) උද්ඝෝෂණයක නිරත වූහ.
ලබන අවුරුද්දේ බාල ඖෂධ තත්ත්වය මීට වඩා බරපතලයි – චමල් සංජීව
ඉන්දියන් ෆාමකෝපියා හරහා මෙරටට ඖෂධ ප්‍රසම්පාදනය කිරීම, ඉන්දියන් සමාගම්වලට අවසර ලබාදීම සහ එම ඖෂධ රෝහල් වෙත බෙදාහැරීමද තාවකාලිකව නතර කරන ලෙස එම උද්ඝෝෂණයට එක්වූ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිත් සන්ධානයේ සභාපති වෛද්‍ය චමිල් සංජීව ඉල්ලා සිටියේය.
ඉන්දියාවෙන් ඖෂධ ගෙන්වන වැඩපිළිවෙළ යටතේ ලබන වසරේදී වැඩි වශයෙන් ගැටලු සහගත ඖෂධ වර්ග මෙරටට ගෙන ඒමේ අවදානමක් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.
ඉන්දියාවේ ඖෂධ නිපදවන කර්මාන්ත ශාලා පිළිබඳ ස්ථානීය පරීක්ෂණයක් සිදුකරන තෙක් එම සමාගම් අතරමැදි සමාගම් හෝ දේශීය නියෝජිත සමාගම් ලියාපදිංචි කිරීම තාවකාලිකව නතර කරන ලෙසටද ඔහු ඉල්ලා සිටී.
ඉන්දියාවේ සමාගම්වලින් ගෙන්වන ඇතැම් ඖෂධ නිසා සිදුවූ සංකූලතා ඉහළ ගොස් ඇතැයිද එනිසා මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳ ජනතාව තුළ සැක සංකා මතුවී ඇතැයිද එම වෛද්‍යවරයා සඳහන් කළේය.



