අත්පා ගැට ගසා හුස්ම සිරකර 87 හැවිරිදි තිදරු මවක් ඝාතනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බලගොල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
පල්ලේකැලේ මහවත්ත ඉහළ කුණ්ඩසාලේ නිවසක මෙම මව හුදකලාව වාසය කර තිබෙන බව පොලිස් පරික්ෂණ මගින් හෙළිව තිබේ.
ඝාතනය ලක්ව ඇත්තේ ශ්‍රියාලතා කුලකුලසුරිය නැමැති තැනැත්තියක බවට පොලීසිය හඳුනාගෙන ඇත.
ඇගේ දරුවන් දෙදෙනෙකු විදේශ ගතව සිටින බවත් එක් දරුවෙකු නිවසට තරමක් නුදුරින් පදිංචිව සිටින බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
එම නිවසේ පදිංචි ඇගේ ලේලිය පෙරේදා (28) පස්වරු 3.00 ට පමණ කාන්තාව සිටි නිවසට පැමිණි අවස්ථාවේ ඇගේ අත්පා ගැට ගසා ඝාතනය කර සිටිනු දැක ඒ බව පොලීසියට දැනුම් දී ඇත.
සොරකමක් සඳහා පැමිණි පුද්ගලයෙකු ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර බලගොල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



