ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඉදිරි දිශානතිය තීරණය කරන 2026 වසර සඳහා වන අයවැය යෝජනාවලිය අද (07) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කළේය. එහිදී ඔහු පෙන්වා දුන්නේ, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2025 වසරේ සැප්තැම්බර් මාසය වන විට මෙරට ආනයන වියදම්වල කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වී ඇති බවයි.
මෙම ආනයන වියදම් ඉහළ යාමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මත යෙදෙන පීඩනය ඉදිරියේදී ඉහළ යා හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත්, මෙය ආර්ථික සංසරණය තුළ කෙටි කාලීනව ඇතිවිය හැකි ස්වභාවික තත්ත්වයක් බවද ඔහු පැහැදිලි කළේය.
ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, මෙම තත්ත්වය නිර්මාණය වීමට මූලික හේතුව, ඉතිහාසය පුරා බලයට පත් වූ ආණ්ඩු මෙරට අපනයන ආදායම් ඉහළ නැංවීම සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිවිපාකය බවයි.
එම ඓතිහාසික අත්වැරැද්ද නිවැරදි කරමින්, ඉදිරි කාලය තුළ මෙරට අපනයන ආදායම් ඉහළ නැංවීම සඳහා සිය රජය විසින් පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් සකස් කර ඇති බවටද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය කතාව අතරතුරදී දැඩි විශ්වාසයකින් යුතුව ප්‍රකාශ කළේය.


