බාලි හිදී කුලියට ගත් කුඩා බස් රථයක් නොගැඹුරු මිටියාවතකට පෙරළීමෙන් චීන ජාතිකයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් අට දෙනෙකුට සුළු තුවාල සිදුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
අනතුරට පත් වූ මෙම කුඩා බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 13 දෙනාම චීන ජාතිකයින්.
මෙම අනතුර එරට වේලාවෙන් අද පස්වරුවේ සිදුව තිබෙනවා.
චීන ජාතිකයින් 13 දෙනා ඩෙන්පසාර් නගරයේ සිට බාලි හි උතුරු කොටසේ පිහිටි බුලෙලෙන්ග් ප්‍රදේශය වෙත ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වූ බව බාලි පොලිස් ප්‍රධානී විඩ්වාන් සුටාඩි පැවසුවා.
ඔහුට අනුව, අනතුරට හේතුව වී ඇත්තේ රියදුරුට වාහනය පාලනය කර ගැනීමට නොහැකි වීමයි.
වංගුවකදී සහ බෑවුමකින් බැසීමේදී ප්‍රවේශම් නොවීම හේතුවෙන්, බසය තාර දැමූ මාර්ගයෙන් ඉවතට විසිවී ප්‍රජා උද්‍යානයකට ඇතුළු වී රථ වාහන අනතුරක් සිදුවීමට හේතු වී තිබුණා.
රියදුරුට වාහනය පාලනය කර ගැනීමට නොහැකි වූ බැවින්, ඔහු වෙනත් මෝටර් රථයක් සමඟ ගැටීම වළක්වා ගැනීමට උත්සාහ කරමින්, වාහනය ගසකට හැරවූ බවද සඳහන්.
කුඩා බස් රථය ඉවතට විසිවී නොගැඹුරු මිටියාවතකට පෙරළී තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූවන් වහාම ළඟම ඇති රෝහලට ගෙන ගිය අතර, එහිදී ඔවුන්ගෙන් පස් දෙනෙකු මිය ගියා.
කුඩා බස් රථයේ රියදුරු දිවි ගලවා ගත් අතර ඔහු ද තුවාල ලබා ඇති බව වාර්තා වනවා.



