ඊයේ (03) පැවැත්වීමට නියමිත ව තිබූ කුරුණෑගල කතරගම දේවාලයේ නිලවරණය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස එම දේවාලයේ හිටපු භාරකරුවන් පිරිසක් අධිකරණයෙන් කළ ඉල්ලීමක් කුරුණෑගල අතිරේක දිසා විනිසුරු ජනනී විජේතුංග තරයේ ප්‍රතික්ෂේප කළා.
කුරුණෑගල කතරගම දේවාලයේ හිටපු භාරකරුවන් වන සෙල්වරාජා මුතුරාසා, අරුමුගම් පිල්ලෙයි කන්දසාමි, අරුමුගම් කනකරත්නම්, සදාසිවම් පිල්ලෙයි සුරේෂ් හා තිරුණවුන්කරුෂවුමා යන අය නීතිඥ සඳුන් ගමගේ මගින් කුරුණෑගල දිසා අධිකරණයට ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් එසේ ප්‍රතික්ෂේප කරන ලදී.
මෙම පැමිණිල්ලේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත්තේ කුරුණෑගල කතරගම දේවාලයේ වත්මන් භාරකරුවන් වන ජේ. චන්ද්‍රසේකරන්, එස්. සන්මුගමන්, කන්දසාමි පිල්ලෙයි හා එස්. පෙරිබ්භනාදන් නමැති අයවලුයි.
පැමිණිල්ල මගින් කර තිබූ ඉල්ලීම කුරුණෑගල අතිරේක දිසා විනිසුරු ජනනී විජේතුංග තරයේ ප්‍රතික්ෂේප කළේ විත්තිකාර භාරකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න දීර්ඝ වශයෙන් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
ඒ අනුව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ පැමිණිලිකරුවන් ස්වකීය පැමිණිල්ල මගින් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගය මුළුමනින්ම නීතියට පටහැනි වන බවයි.
පැමිණිලිකරුවන් අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ඉල්ලීමට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාට පැමිණිලි කර සහතිකයක් ලබාගෙන නොමැති බව මෙන්ම මෙවැනි ඉල්ලීමක් පැමිණිලිකරුවන්ට ඉදිරිපත් කිරීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බව නීතිඥවරයා පවසා සිටියා.
පැමිණිලිකරුවන් ද්වේශ සහගතව මෙම අතුරු තහනම් නියෝගය ඉල්ලා ඇති බවට චෝදනා කළ නීතිඥවරයා නීතිමය පදනමක් නොමැති මෙම අතුරු තහනම් නියෝගය ප්‍රතික්ෂේප කරන ලෙස දක්වා සිටි අතර, එම කරුණු දැක්වීම හා පැමිණිලිකරුවන් මෙම නඩුව පැවරීමට පෙර ප්‍රාදේශීය ලේකම්වරයාට පැමිණිලි කර සහතිකයක් ලබානොගෙන සිටීම ද සැලකිල්ලට ගනිමින් කුරුණෑගල අතිරේක දිසා විනිසුරු ජනනී විජේතුංග, අතුරු තහනම් නියෝගය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර සිටියා.
මෙම නඩුවේ පැමිණිලිකරුවන් වෙනුවෙන් නීතිඥ සඳුන් බණ්ඩාර පෙනී සිටි අතර, විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ රවීන්ද්‍ර ඉරුගල් බණ්ඩාරගේ උපදෙස් මත නීතිඥ නවීන් ජයමාන්න හා ජ්‍යෙෂ්ඨ නීතීඥ උපාලි ජයමාන්න පෙනී සිටියේය.
ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය සඳහා වන ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග කුරුණෑගල කතරගම දේවාලයේ නිලවරණය ඊයේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහභාගිත්වය සහිත ව කුරුණෑගල ලංකා බැංකු ගොඩනැගිල්ලේ දී පැවැත් විනි.
මෙම අධිකරණ නියෝගයත් සමග දීර්ඝ කාලයක් නොපැවැත් වූ හින්දු බැතිමතුන්ගේ විශේෂ උත්සවයක් වන කතරගම දෙවියන් උදෙසා සිදු කරන ‘කුම්භාභිෂේක’ මංගල්‍යය පැවැත්වීමට ද ඉඩ සැලසෙන බව ආරංචි මාර්ග විසින් සඳහන් කරනවා.