ඩේසි ෆොරෙස්ට් වික්‍රමසිංහ නමැති 97 හැවිරිදි වයෝවෘද්ධ මිත්තණිය රාජපක්ෂ පවුලට සම්බන්ධ වන්නේ තරමක වක්‍ර ආකාරයෙනි. ඇය ශිරන්ති වික්‍රමසිංහගේ අම්මාගේ නංගීය. යෝෂිත නාමල් රෝහිතලාගේ ආච්චිගේ නංගී ඇයය.
කිසියම් ගනුදෙනුවක් සගවන්නට යමෙකු සල්ලි හංගන්නේ කෙලින්ම හසුවන තැන්වල නොවේ.
රුපියල් 275ක මාසික වැටුපකට රෝහලක මුළුතැන්ගේ භාරකරු ලෙස සේවය කර තමන්ගේ පාඩුවේ සාමාන්‍ය ජීවිතයක් ගතකරමින් සිටි මෙම කාන්තාව අහක ඉන්න මුණුපුරෙකුගේ වත්කම් නඩුවලට පැටලෙන්නේ නොසිතූ නොපැතූ ලෙසිනි.
ඊයේ (5) ඩේසි ආච්චි වත්තං කරගෙන උසාවියට ගෙන ගියේ යෝෂිතගේ සීඑස්එන් ගනුදනුවක් ගැන අහන්නය.
කාල්ටන් ක්‍රීඩා ජාලය (CSN) ට අයත් CSN ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ ඩී.ඒ. රාජපක්ෂ පදනමට ලබාදුන් රජයේ ඉඩමක වන අතර, එය පදනමේ කටයුතු හැර වෙනත් කිසිදු කාර්යයක් සඳහා භාවිතා නොකළ යුතු බවට කොන්දේසියක් පැවති බව හෙළි වී තිබේ.
2010 දී CSN රූපවාහිනී ජාලය සඳහා ගොඩනැගිල්ල ඉදිකර ඇති අතර, 2015 ජනවාරි 8 වැනිදා රාජපක්ෂ පාලනය අවසන් වීමෙන් පසු, මෙම ඉඩම නීත්‍යානුකූලව පදනමෙන් ඩේසි ෆොරස්ට් ලබාගත් බව පෙන්වීමට හදිසි බදු ගිවිසුමක් අත්සන් කර ඇති බවට චෝදනා එල්ල වේ.
ඊට පෙර රත්මලාන සිරිමල් උයන ප්‍රදේශයේ රුපියල් මිලියන 34ක වටිනා ඉඩමක් මිලදී ගැනීමට අදාළව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේද ඩේසි ආච්චි වග උත්තර බඳින්නෙකු බවට පත්ව තිබුණි. ඇගේ නිවස අවට ඉඩම් රැසක් එක්කර මුනුපුරාට අවශ්‍ය පරිදි ඉඩම පුළුල් කර තිබුනේ,විශාල වශයෙන් මුදල් ගෙවමිනි. ඩේසිගේ වියදමක් ලෙස ඉඩම් හිමියන්ට ගෙවූ මුදල් විස්තර පහත පරිදි වේ:
* ස්ටීෆන් ප්‍රනාන්දු - රු. මිලියන 7.5 * අයිරීන් ප්‍රනාන්දු - රු. මිලියන 3.54 * සිරිල් ප්‍රනාන්දු - රු. මිලියන 7.0
* හේමලතා රණවීර - රු. මිලියන 6.0 * මෙබල් සූරවීර - රු. මිලියන 3.34 * පැට්රික් ප්‍රනාන්දු - රු. මිලියන 7.0* අසාලින් ප්‍රනාන්දු - රු. මිලියන 2.5 * ඇඩ්මින් ප්‍රනාන්දු - රු. මිලියන 1.5 * වයලට් ප්‍රනාන්දු - රු. මිලියන 3.34
මේවා ගෙවන්නට කුඩා ඉඩමක සුළු වැටුපක් ලබමින් ජීවිකාව ගෙන ගිය විසූ ඩේසි ආච්චිට හැකිවීම ගැටලුකාරී විය.
යෝෂිතට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ තවත් නඩු කිහිපයක්ම පවතින අතර රගර් ක්‍රීඩකයෙකු ඝාතනයට ලක්කිරීමේ සිදුවීමකට අදාළ පැමිණිල්ලකද ඔහු ගැන සඳහන්වේ.
මේ සියලු පැටලිලි වලට යෝෂිතගේ පරණ ආදර සම්බන්ධයක් බලපා තිබීමද දෛවෝපගතය.
විමර්ශන නිලධාරීන්ට අනාවරණය වී ඇති කරුණු අනුව, මෙම ප්‍රශ්නගත රත්මලාන දේපළේ නාමික හිමිකාරිය වන්නේ ඩේසි ෆොරෙස්ට් මිත්තණියයි. කෙසේ වෙතත්, 1971 වසරේ රුපියල් 275ක මාසික වැටුපකට රෝහලක මුළුතැන්ගේ භාරකරු ලෙස සේවය කර ඇති ඇයට 2012 වසර වන තෙක් කිසිදු නිශ්චල දේපළක් අයිතිව නොතිබූ ඇයට එක්වරම ඉඩමක් ලැබීම ගැටලුකාරී විය.
ප්‍රශ්නගත දේපළ ඔප්පුව මුලින්ම හමුවී ඇත්තේ පාලිත ගමගේ නැමැත්තෙකු භාරයේය. ඩේසි ෆොරෙස්ට් මහත්මියගේ ප්‍රකාශයට අනුව, මෙම දේපළ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 24ක මුදලක් ලබා දී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සම්බන්ධ පාලිත ගමගේ නැමැත්තෙකි. එහෙත් පාලිත ගමගේ මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ මාර්ග සංවර්ධන ටෙන්ඩරයක් ලබා ගැනීම සඳහා අල්ලසක් ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාර්යාලයේ සේවය කළ 'චතුර' නැමැත්තෙකුට රුපියල් මිලියන 12.5ක් ලබා දුන් බවයි.
සිද්ධියට අදාළ තවත් වැදගත් කරුණක් ලෙස, ගනුදෙනුව සිදුවූ කාලයේ යෝෂිත රාජපක්ෂ මහතා යසාරා අබේනායක නැමැති තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවයක පසුවූ බව හෙළි වී තිබේ.
යසාරාගේ මාමා වන වසන්ත ජයසූරිය සාක්ෂි දෙමින් පවසා තිබුනේ තමන් මෙම දේපළ මිලදී ගැනීමට සූදානම්ව සිටි නමුත්, යසාරා සහ යෝෂිත විවාහ වීමෙන් පසු ඔවුන්ට පදිංචිවීමට නිවසක් අවශ්‍ය බව පවසමින් යෝෂිත රාජපක්ෂ එම දේපළ තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවයි. වසන්ත ජයසූරිය තවදුරටත් සඳහන් කර ඇත්තේ ප්‍රශ්නගත දේපළේ ඔප්පුව ලබා ගැනීම සඳහා යෝෂිත රාජපක්ෂ ආරක්ෂක නිලධාරියෙකු මගින් රුපියල් මිලියන 34ක් එවූ බවයි.
මේ ආකාරයට කරුණු එලිවූයේ යෝෂිත හා යසාරා අතර සම්බන්ධය අහිමිවී යාමෙන් පසුවය.
යෝෂිත යසාරා සමග විවාහ වී ජීවත්වන්නට යන ඉඩම ගන්නට නම දී උදව් කළ නිසා මිත්තණිය දැන් ගැටලු රැසකට මුහුණපා ඇත.
මීට අමතරව, ඩේසි ෆොරෙස්ට් මහත්මියගේ නමින් දෙහිවල ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 500කට මිලදී ගත් තවත් ඉඩමක් සම්බන්ධයෙන්ද නඩුවක් පවතින අතර, ගල්කිස්ස උසාවියේදී එම ඉඩම මැණික් මල්ලක් විකුණා මිලදී ගත් බව ප්‍රකාශ කර ඇත.
ඊයේ කතා කළ CSN සමාගම සම්බන්ධ නඩුවේදී රුපියල් මිලියන 1,000ක් සහ රුපියල් මිලියන 34ක් මුදල් විශුද්ධිකරණය පිළිබඳ කරුණු හෙළිවී ඇත
යෝෂිත රාජපක්ෂ 2007 වසරේ නාවික හමුදාවට බැඳී, පසුව ලුතිනන්වරයෙකු ලෙස උසස්වී 2016 වසරේ වැඩ තහනමට ලක්වන තෙක් එම තනතුරේ සේවය කළ අතර මාසික වැටුප රුපියල් 73,000ක් වූ නමුත් අදාළ බැංකු ගිණුමෙන් කිසිදු අවස්ථාවක එම මුදල් ආපසු ගෙන නොමැති අතර සම්පූර්ණ වැටුප් එකතුව තවම බැංකුවේ පවතී. ඒ අනුව ඉඩම් මිලට ගන්නට වැයකර ඇති මුදල් ගැන ප්‍රශ්න මතුවේ.
යෝෂිත රාජපක්ෂ පසුගිය මාසයේ අත්අඩංගුවට ගෙන රත්මලාන ඉඩම ගැන කළ විභාගයේදී නඩුවේ පළමු සැකකාරිය වන ඩේසි ෆොරෙස්ට් මහත්මිය 2016 වසරේදී අධිකරණයට කැඳවා ඇප මත මුදා හැර ඇති බැවින් නඩුව දැනටමත් වසර අටකට වැඩි කාලයක් ක්‍රියාත්මක වී ඇති බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති බව දේපළ තහනම් කිරීම ක් සිදුකර නැති බව පෙන්වාදී යෝෂිතට ඇප දුන්නේය.
එම නඩුව මැයි මස 16 වන දින යළි කැඳවීමට නියමිත ය.
නඩුවට අදාළ ඉඩම පිහිටා ඇත්තේ අංක 04, කෙකටිය මාවත, රත්මලාන යන ලිපිනයේ වන අතර, යසාරා අබේනායක පදිංචි නිවස පිහිටා ඇත්තේ අංක 01, කෙකටිය මාවත, රත්මලාන යන ලිපිනයේය.
යසාරා අබේනායක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශයට අනුව, අංක 04 ලිපිනයේ ඉඩම විකුණන්න එහි හිමිකාරිය වන මානෙල් රත්නායක සූදානම්ව සිටි බවත්, යෝෂිත තම නිවසට පැමිණි අවස්ථාවක ඔහුට මේ බව දැනුම් දුන් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස එම ඉඩම යෝෂිතගේ මීත්තණිය වන ඩේසි ෆොරෙස්ට්ගේ නමින් මිලදී ගත් බව තමා දන්නා බවත් පවසා ඇත.
එහෙත්, වසන්ත ජයසූරිය නම් සාක්ෂිකරුවා CID එකට කර ඇති ප්‍රකාශයට අනුව, ඔහු ඩේසි ෆොරෙස්ට් කියන පුද්ගලයා කිසි දිනෙක දැක නොමැති බවත්, යෝෂිත රාජපක්ෂගේ ඉල්ලීම මත මෙම ඉඩම් ගනුදෙනුවට මැදිහත් වූ බවත්, යෝෂිතගේ උපදෙස් මත ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු විසින් මුදල් ගෙනවිත් භාර දුන් බවත්, එම මුදල් ඔහු ලූෂන් රත්නායක නම් පුද්ගලයාට ලබා දුන් බවත් සඳහන් කර ඇත. මේ අනුව ඩේසි ෆොරෙස්ට් විසින් මෙම ඉඩම මිලදී ගැනීමට රුපියල් මිලියන 24ක් ලබා දුන් බවට කියන ප්‍රකාශය අසත්‍ය බව ඔහුගේ ප්‍රකාශයෙන් පෙනී යයි.
මෙම සිද්ධිය තරුණ පිරිස් සඳහා පාඩමකි. බොහෝ අවස්ථාවලදී, විවාහයක් අරමුණු කරගත් ප්‍රේම සම්බන්ධතා බිඳ වැටුණු පසු, එක් පාර්ශවයක් විසින් අනෙක් පාර්ශවයට එරෙහිව පළිගැනීමේ ක්‍රියාමාර්ග ගන්නා අතර මෙහිදී ද සිදුව ඇත්තේ, පෙම්වතිය විසින්ම ලබාගන්නා ලෙස උනන්දු කළ, ඇගේ පවුලේ සාමාජිකයින්ද මැදිහත් වී ගත් ඉඩමක් පිළිබඳ තොරතුරු බලධාරීන්ට හෙළි කිරීමකි.
මෑත අතීතයේ අර්ජුන් ඇලෝෂියස්ගේ සිද්ධියද මෙයට සමාන උදාහරණයක් ලෙස පෙන්වා දෙයි. එහිදී රවී කරුණානායකට ලබා දුන් සුපිරි මහල් නිවාස සංකීර්ණයක නිවසක් පිළිබඳ තොරතුරු හෙළි වූයේද ඇලෝෂියස්ගේ හිටපු පෙම්වතියක හරහාය.
ඩේසි ආච්චි තමන්ගේ පාඩුවේ සිටි ගැහැනියකි. 1970 දශකයේ රැකියා 3 ක් කර ඇත. එකක් රෝහලක ගබඩා භාරකාරියක ලෙසිනි. තව එකක් නම් ස්වේච්ඡා ගුරුවරියක ලෙසිනි. තවත් එකක් නම් නේවාසිකාගාර වෝර්ඩන් ලෙසිනි. මේවායේ වැටුප් තල පහළ මට්ටමක පැවතිණි.
අපට නෙමේ සල්ලි හම්බ වුනේ අපේ නෑදෑයෙකුට එයාට මැණික් මල්ලක්ම ලැබුණා.. යන විහිලු සහගත කතාව රාජපක්ෂ පවුල සමග ප්‍රබන්ධ ගොතා තිබේ.
'ඩේසි ආච්චිගේ මැණික් මල්ල' ශ්‍රී ලංකාවේ දේශපාලන දූෂණය සහ වගවීම පිළිබඳ පුළුල් ගැටලුවල සංකේතයක් බවට පත්ව තිබේ. සැකසහිත ක්‍රම මගින් ධනය රැස් කර ඇති දේශපාලනඥයින්ට එරෙහිව විනිවිදභාවයක් සහ ක්‍රියාමාර්ග ගන්නා ලෙස බොහෝ පුරවැසියන් ඉල්ලා සිටිති.