නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ ජංගම දුරකථනයක් අස්ථානගතවීම සම්බන්ධව නුවරඑළිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී එම නඩු භාණ්ඩ ගබඩාවේ සේවය කළ කාන්තාවක විසින් එම ජංගම දුරකථනය සොරාගෙන ඇති බව පොලිසියට අනාවරණය වී තිබෙනවා.
එහිදී පොලිසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම හමුවේ ඇය පවසා ඇත්තේ, නඩු භාණ්ඩයක් වන වටිනා ජංගම දුරකථනය සොරාගෙන සිය පෙම්වතාට තෑගි වශයෙන් ලබා දුන් බවයි.
නඩු භාණ්ඩ කාමරයේ ජංගම දුරකථනයක් අස්ථානගත වීම සම්බන්ධව පසුගිය22 වනදා නුවරඑළිය පොලිසියට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව දුරකතන දත්ත පරීක්ෂා කර ලබාගත් තොරතුරු ඔස්සේ අස්ථානගත වූ දුරකථනය භාවිතා කළ පුද්ගලයා සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ සිය පෙම්වතිය විසින් මෙම ජංගම දුරකථනය තමාට තෑගි දුන් බවයි.
ඉන් අනතුරුව පොලිසිය විසින් එම සැකකාර පෙම්වතියව ඊයේ (30) දින අත්අඩංගුවට ගනු ලැබූ අතර, මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 09වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.