බන්ධනාගාරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වෙන පාගමනට ආධාර කළ අයෙකුට පහර දුන් බවට තිත්තගල්ලේ ආනන්දසිරි හිමි විසින් සමාජ මාධ්ය වෙත මුදාහැර ඇති වීඩියෝව සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලීසිය විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
ඊයේ (14) යක්කල, වීදියවත්ත දේවාලය ඉදිරිපිටදී මෙම සිදුවීම වී ඇත්තේ පෞද්ගලික අවශ්යතාවකට ලොරි රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සහ යතුරුපැදිකරුවෙකු අතර ඇති වූ රථවාහන තදබදයක් මුල් කරගත් බහින්බස්වීමක් දුරදිග යාමෙනි. පහරකෑමට ලක්වූ පුද්ගලයා පාගමනට කිසිදු සම්බන්ධයක් නැති අයෙකු බවත්, ඔහු පෞද්ගලික කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටියදී ඇති වූ රථවාහන ආරවුලක් හේතුවෙන් මෙම ප්රහාරයට ලක්ව ඇති බවත් පොලීසිය තහවුරු කරයි.
මෙම සිදුවීම පාදක කරගනිමින් අසත්ය තොරතුරු ප්රචාරය කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර අවශ්ය නීතිමය ක්රියාමාර්ග ගන්නා බව පොලිසිය වැඩිදුරටත් දන්වා සිටී.



