දිවයින පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු වෛරසය මේ වනවිට වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ විසින් දැඩි ලෙස අනතුරු අඟවා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා ඊයේ (ජුනි 17) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් වත්මන් අවදානම් තත්ත්වය පැහැදිලි කළේය.
මේ වනවිට රටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 50%ක්ම, එනම් අඩකටත් වඩා වාර්තා වන්නේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලින් බව හෙළිවී ඇත.
පසුගිය කාලසීමාවේ දිවයිනේ පැවති අහිතකර කාලගුණික තත්ත්වය මෙන්ම ඩෙංගු වෛරසයේ ප්‍රභේදයන්හි සිදුව ඇති වෙනස්කම් මෙම සීග්‍ර වර්ධනයට සෘජුවම බලපා තිබේ.
පසුගිය වසර තුනක කාලය පුරාම මෙරට ඩෙංගු රෝගීන් සහ මරණ සංඛ්‍යාව නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට සෞඛ්‍ය අංශවලට හැකියාව ලැබුණි.
නමුත් මේ වසරේ තත්ත්වය පාලනයෙන් ගිලිහී ගොස් ඇති අතර, පසුගිය සමස්ත වසරේම වාර්තා වූ රෝගීන් සහ මරණ සංඛ්‍යාව, මේ වසරේ පළමු මාස 6 නිමවීමටත් මත්තෙන් ඉක්මවා ගොස් ඇති බව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකය පසුගිය සතියේ නිකුත් කළ නිල දත්තවලට අනුව, වසරේ මුල් මාස 6 ගෙවී යාමටත් පෙර ශ්‍රී ලංකාවෙන් ඩෙංගු ආසාදිතයන් 40,443 දෙනෙකු හඳුනාගෙන තිබේ.
වෛරසය ආසාදනය වීමෙන් මේ වසර තුළ පමණක් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 24කි.



