අප්‍රේල් මාසය වන විට විශාල වශයෙන් විදුලි ගාස්තු වැඩිවීමක් සිදුවිය හැකි බවත් ආණ්ඩුව සිදුකර තිබෙන වැරැදිවලට ජනතාව වග කිව යුතු නොමැති බවද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා කියයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (16) පොළොන්නරුවේදී මාධ්‍යට අදහස් දක්වමිනි.ගල් අඟුරු මගඩිය නිසා මෙරටට සිදුවූ පාඩුව විදුලි බිල ඉහළ නැංවීම සඳහා කිසිසේත්ම අදාළ කර නොගන්නා බවට ජනතාවට සහතිකයක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කර යුතු බවත් මෙම පාඩුව පියවා ගන්නා ආකාරය සම්බන්ධයෙන් විකල්ප සැලස්මක් මෙරටට ඉදිරිපත් කළ යුතු බවත් ඔහු කියා සිටී.
ආණ්ඩුව දැන් සුදානම් වන්නේ ඔවුන්ගේම වරදින් සිදුවූ පාඩුව අසරණ ජනතාවගෙන් පියවා ගන්නට බවත් තමන් සිදුකළ පාඩුව සම්බන්ධයෙන් විදුලි බල සහ බලශක්ති ඇමැතිවරයා ජනතාවගෙන් සමාව ගත යුතු බව ද ඔහු කියා සිටියේය.
මෙහිදී අදහස් දක්වා සිටි හෙතම පෙන්වා දෙන්නේ වහාම ගල් අඟුරු ටෙන්ඩර අහෝසි කර අලුතෙන් ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ක්‍රමයක් සකස් කළ යුතු බවත් දිගින් දිගටම මෙම බාල ගල් අඟුරු භාවිත කළහොත් සිදුවන්නේ විශාල විදුලි අර්බුදයකට මුහුණ දීමට බවත්ය.
ජනාධිපතිවරයා මෙම ගැටලුව විසඳිම සඳහා සෘජුවම සම්බන්ධ විය යුතු බවත් නැත්නම් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ මෙන් විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවද වැඩිදුරටත් ඔහු කියා සිටියේය.



