යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් මාදැල් ඇදීම රජය විසින් තහනම් කිරීමට එරෙහිව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අභියස ක්‍රියාත්මක විරෝධතාව තීරණාත්මක අඩියකට පැමිණ තිබේ.
සිය ඉල්ලීම්වලට බලධාරීන් යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම්, අද (09) දින සිට තම අඹුදරුවන් ද සමඟ මාරන්තික උපවාසයක නිරත වන බව විරෝධතාකරුවෝ අවධාරණය කරති.
කොළඹ කොටුව, ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය ඉදිරිපිට ඊයේ (08) දිනය වන විට උපවාසය සිව්වන දිනටත් අඛණ්ඩව පැවැත්විණි.
මෙම ගැටලුවට විසඳුම් නොලැබුණහොත් දිවයින පුරා වෙසෙන සියලුම මාදැල් ධීවරයන් අද සිට සිය කර්මාන්තයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.
මෙම අරගලයට සහාය පළ කිරීම පිණිස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා ද ඊයේ එම ස්ථානයට පැමිණියේය.
ඔහු ද විරෝධතාකරුවන් සමඟ එක්ව සත්‍යග්‍රහයේ නිරත වෙමින් සිය සහයෝගය පළ කරනු දක්නට ලැබිණි.



