ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවා හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැනැපත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනීමේ අවස්ථාව අද (05) සිට මෙරට සැදැහැවත් ජනතාවට හිමි වේ.
ඒ අනුව අද (05) අලුයම 6.00 සිට ලබන 11 වන දින පෙරවරු 7.00 දක්වා වැද පුදා ගැනීමට සැදැහැවත් ජනතාවට අවස්ථාව ලබා දී තිබේ.
ඉන්දියාවේ බරෝදා කෞතුකාගාරයේ ඉතා සුරක්ෂිතව තැන්පත් කර තිබූ ඒම සර්වඥධාතුන් වහන්සේ ඉන්දියාවෙන් පිටත ප්‍රදර්ශනය කරනු ලබන පළමු අවස්ථාව මෙය බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් සිදුකළ විශේෂ ඉල්ලීමක් මත ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවීම සිදුව තිබේ.
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති “ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවේ”සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (04) දිනයේ සර්වඥ ධාතූන් වහන්සේ වැදපුදා ගැනීම සිදු කළේය.
මේ අතර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කරන සැදැහැවතුන් සදහා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණීමට අද සිට විශේෂ දුම්රිය ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව ලබන 10 වන දින දක්වා මෙම දුම්රිය ධාවනය කෙරෙන අතර අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වා මෙම දුම්රිය ධාවනය කිරීමට නියමිතය.



