1968 අංක 25 දරණ ප්‍රසිද්ධ විභාග පනතෙහි 22 වගන්තිය යටතේ නිකුත් කර ඇති නියෝග අනුව 2013.06.21 දිනැතිව නිකුත් කරන ලද අංක 1816 ගැසට් නිවේදනය ප්‍රකාරව එළඹෙන (11) වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම සහ එම පන්ති මෙහෙය වීම/ විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම/ උක්ත විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම/ විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ.
යම් අයෙක් හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙකී නියෝග නොසලකා ක්‍රියා කරනු ලැබුවහොත් ඒ තැනැත්තා හෝ ආයතනය හෝ එම පාර්ශවය මෙම පනත යටතේ වරදකරුවකු වන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් හෝ පාර්ශවයක් මෙම නියෝග යම් ආකාරයකින් කඩ කිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදු කළහොත් ඒ පිළිබඳව ළඟම පවතින පොලිස් ස්ථානය හෝ පොලිස් මූලස්ථානය හෝ ශ්‍රී ලංකා විභාග දොපර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකිය.
සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන (17) වැනිදා සිට (26) වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,545ක පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



