සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන ගණේමුල්ලේ සංජීව නමැත්තාට අධිකරණයේ විත්තිකූඩුව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පුළුල් විමර්ශනයට අදාළව විදෙස්ගතව සැඟවී සිටින අපරාධකරුවන් 08 දෙනකුට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි පොලිසිය, අධිකරණයට දන්වා සිටියේය.
එම අපරාධකරුවන් දුටු තැන අත්අඩංගුවට ගැනීමට අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා වෙත දන්වා සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්, අදාළ සැකකරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් රතු නිවේදන නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි ද දන්වා සිටියේය.
සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව නමැත්තා ඝාතනයේ මහ මොළකාරිය ලෙස සැලකෙන, ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය තවත් දින 90 ක් රඳවා ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගත් බව ද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය වෙත දන්වා සිටියේය.
නේපාලයේ කත්මණ්ඩු නුවර සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය රැඳවුම් නියෝග මත රඳවා ගෙන දින 90 ක කාලයක් ප්‍රශ්න කළ බවත්, එම රැඳවුම් නියෝග කාලය මෙම මස 15 වනදා අවසන් වූ හෙයින්, සැකකාරිය තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගත් බවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය වෙත දන්වා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය ලබන මස 06 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට නියම කළේය.



