මහ සයුරේ ධාවනය වන මත්ද්‍රව්‍ය තොග රැගත් බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු සම්බන්ධයෙන් නිරීක්ෂණය කෙරෙන VMS (Vessuls Monitoring System) පරීක්ෂාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සතු පරිගණක දත්ත සහ තොරතුරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්වී ඇති බවට ලද තොරතුරු මත පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත.
මෙම තොරතුරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්වීමත් සමග එම ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය තොග ප්‍රවාහනය සඳහා යොදාගන්නා බෝට්ටු, මුහුදු සීමාවලින් ඉවත් කර ගැනීමටත් නාවික හමුදාවේ නිරීක්ෂණයට හසු නොවන ආකාරයට ගමන් කිරීමටත් වගබලා ගෙන ඇති බවට තොරතුරු එම කාර්යාංශයේ නිලධාරීන්ට වාර්තා වී තිබේ.
මත්ද්‍රව්‍ය රැගත් බහුදින ධීවර යාත්‍රා සම්බන්ධයෙන් නිරීක්ෂණය කෙරෙන අධි තාක්ෂණික පරිගණක දත්ත උපකරණ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සතුව ඇති අතර එලෙස මුහුදේ සැරිසරන බෝට්ටු නිරීක්ෂණය “VMS” පරීක්ෂාව ලෙස සඳහන්වේ.
මෙය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි අංශ විසින් පරිහරණය කරනු ලබන අතර පොලිස් දෙපාර්තමේන්තුවේ වෙනත් නිලධාරීන්ට එම දත්ත නිරීක්ෂණය කළ නොහැකි බව කියයි.
දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව වාර්තා වන්නේ මහ සයුරේ ඇති බහුදින යාත්‍රාවල ගමන්මඟ සහ එම යාත්‍රා හිමිකරුවන්ගේ පූර්ණ විස්තර පරීක්ෂා කිරීමට හැකි “VMS” පද්ධතියට ඇතුළු විය හැකි ‘මුරපද’ පවා ඇතැම් දූෂිත නිලධාරීන් විසින් පිටස්තර පුද්ගලයන්ට ලබා දී ඇති බව ය.
මෙවැනි තොරතුරු ජාවාරම්කරුවන් අතට පත්වීම නිසා පසුගිය කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය මෙහෙයුම් සහ වැටලීම් පවා අඩපණව තිබූ අතර මේ බව අනාවරණය වීමත් සමග නවීන තාක්ෂණයෙන් යුතු දත්ත පද්ධතියක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මේ වන විටත් ස්ථාපිත කර ඇති බව සඳහන් වේ.
මේ අතර, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නවීකරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ දූෂිත නිලධාරීන් ඉන් ඉවත් කිරීමට ද මේ දිනවල කටයුතු යොදා ඇත.
මේ වන විටත් එවැනි චෝදනා ලත් උප පරීක්ෂකවරුන් පස් දෙනෙකු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් ඉවත් කර ඇති අතර තවත් කිහිප දෙනෙකු සම්බන්ධව විමර්ශන අරඹා ඇත.
මේ අතර, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නව නිලධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ මස 25 වන දා සිට ඇරඹීමටත් තාක්ෂණික සහ පරිගණක සම්බන්ධ දැනුම ඇති නිලධාරීන් මෙම කාර්යාංශයට බඳවා ගැනීමටත් නියමිත ය.
එමෙන් ම, දූෂිත නිලධාරීන් මෙන් ම මෙම ඒකකයෙන් ඉවත් කළ නිලධාරීන් ද මීට නැවත එක්කර නොගන්නා බව ද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ ඇතැම් නිලධාරීන් නිසා පසුගිය කාලවල සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් පවා සාර්ථක වී නැති අතර මේ වන විට මෙම තත්ත්වය වෙනස් වී ඇතැයි ද වාර්තා වේ.
නව තාක්ෂණික පද්ධතිය නිසා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඇරඹි ‘රට එකට’ මෙහෙයුමෙන් අයිස් මත්ද්‍රව්‍ය ටොන් එකක් ද, හෙරොයින් කිලෝ 276ක්, ගංජා කිලෝ 1411ක්, කුෂ් කිලෝ 65ක්, ඈෂ් කිලෝ 40ක් ඇතුළු විශාල මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනීමට හැකි විය.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නව නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේනගේ මෙහෙයවීම මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකය.



