කහතුඩුව පොලිසිය පවසන්නේ කහතුඩුව, වෑතර දිසා රෝහල තුළදී 26 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් 40 හැවිරිදි වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කළ වෛද්‍යවරයෙකි.
පැමිණිලිකාර කාන්තාව ඇයට වැළඳී තිබූ රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉකුත් 12 වන දින කහතුඩුව වෑතර දිසා රෝහල වෙත පැමිණ ඇති අතර, එදින වෛද්‍යවරයෙකුගෙන් ලද උපදෙස් අනුව මුත්‍රා සාම්පලයක් පරික්ෂා කරගෙන යලි 19 වන දින ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල වෙත පැමිණ ඇතැයි පොලිසිය සඳහන් කරයි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, 19 වන දින ඇය රෝහලට පැමිණි අවස්ථාවේදී බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරියක් සිට ඇති අතර, ඇය විසින් පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර දී ඇති බවයි.
කෙසේ වෙතත්, එම අවස්ථාවේදී පෙර උපදෙස් ලබා දී තිබූ සැකකාර වෛද්‍යවරයා අනෙකුත් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම පසෙකලා පැමිණිලිකාරිය සන්තකයේ තිබූ වෛද්‍ය වාර්තා රැගෙන පරීක්ෂා කර තිබේ. ඉන් අනතුරුව, පැමිණිලිකාරිය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා කාන්තා නිලධාරිනියක් නොමැති කාමරයක් තුළට රැගෙන ගොස් පරීක්ෂා කළ බවත්, එහිදී ඔහු විසින් ඇයට කරදර කළ බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.
පැමිණිලිකාර කාන්තාවට අධිකරණ වෛද්‍ය පෝරම ලබාදීමෙන් පසු ඊයේ (24) දෙපාර්ශවයම කැඳවා විමර්ශනය කළ බවද පොලිසිය සඳහන් කරයි. ඒ අනුව සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබූ අතර, සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව කහතුඩුව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.



