යක්ෂාරූඨයක් ඇතැයි කියමින් හෙරොව්පතාන ප්‍රදේශයේ දේවාලයකට පැමිණි දැරියකට පිලිස්සුම් තුවාල සිදුකර දැරිය බේරාගැනීමට ගිය මවට ද පහරදුන් බව කියන කපුවකු අත්අඩංගුවට ගැනීම සඳහා හොරොව්පතාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙලෙස පිලිස්සුම් තුවාල ලබා ඇත්තේ පිහිඹියගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක වන අතර ඇය සහ පහරකෑමට ලක්වූ ඇයගේ මව හොරොව්පතාන මූලික රෝහලට ඇතුළත් වී තිබේ.
පසුගිය 23 වැනිදා මෙම දැරිය සහ දැරියගේ මව හොරොව්පතාන ප්‍රදේශයේ දේවාලයකට පැමිණ ඇති අතර එහිදී කපුවා දැරියට යක්ෂාරූඨයක් ඇතැයි පවසා ශාන්තිකර්මයක් සිදුකළ යුතු බව පවසා ඇත.
පසුව කපුවා හා ඔහුගේ බිරිඳ විසින් එම දැරියව කාමරයකට රැගෙන ගොස් ඇඳුම් ඉවත් කර යක්ෂ ආවේෂය ඉවත් කිරීම සඳහා ශාන්ති කර්මයක් පටන් ගෙන තිබේ.
කාමරයට කැටුව ගිය දැරිය කෑ ගසා ඇති අතර දැරියගේ මව ඒ ගැන විපරම් කර බැලීමේදී කපුවා විසින් දැරියගේ අත පුළුස්සා ඇයට හිංසන සිදුකරන ආකාරය දැක ඇත. පසුව මව විසින් දැරියව බේරාගැනීම සඳහා කපුවා සමීපයට ගිය අවස්ථාවේදී කපුවා මවට ද පහරදී තිබේ.
පසුව තුවාල ලැබු දැරිය හා මව හොරොව්පතාන රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ සම්බන්ධව හොරොව්පතාන රෝහල මගින් හොරොව්පතාන පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.
දැරියගේ මවගෙන් මේ පිළිබඳව විමසීමේදී ඇය පවසා ඇත්තේ පසුගිය 23 වැනිදා අලුයම 4ට පමණ තමා සහ දැරිය දැරියගේ ශරීරයට යක්ෂයකු වැසී ඇති බැවින් එය ඉවත් කරගැනීමට මෙම දේවාලයට පැමිණි බවය. ඒ අවස්ථාවේදී දේවාලයේ කපුමහතා සහ ඔහුගේ බිරිය තම දැරිය කාමරයකට රැගෙන ගොස් දැරියට පහරදී පුලුස්සන විට දැරියගේ කෑගැසීම ඇසී තමා එම කාමරයට ගිය බවත් ඒ අවස්ථාවේදී දැරියට පහර දී පුලුස්සා ඇති අයුරු දැකීමෙන් කෑගසූ බවත් ඒ අවස්ථාවේ කපුවා තමාටද පහර දුන් බවත් එම මව විසින් පොලිසිය හමුවේ පවසා ඇත.
සිද්ධියට සම්බන්ධ කපුවා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර කපුවා මේ වනවිට ප්‍රදේශයෙන්ද පලාගොස් ඇති බව පොලිසිය පවසයි. දුරකථන සංඥා කුලුනු වාර්තා ඇතුළු විවිධ පැතිකඩ ඔස්සේ කපුවා සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.



