gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විමල්ගෙන් ජනපතිට නඩුවක්!

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමේ කාර්යභාරය ආණ්ඩුව විසින් ඉන්දියානු සමාගමකට ලබාදීමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (22) ගොනු කර තිබේ. 

එහි වගඋත්තරකරුවන් ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31 දෙනෙකු නම් කර ඇත.

පෙත්සම්කරු ලෙස විමල් වීරවංශ මහතා කියා සිටින්නේ ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාව සමග මෙරට පුරවැසියන්ගේ ඩිජිටල් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹ ඇති බවයි.

මීට අදාළව ඉකුත් ජනවාරි මස 27 සහ ජුනි මස 02 වනදා අමාත්‍ය මණ්ඩල තීන්දු දෙකක් ලබාගෙන තිබෙන බවත්, මහජනතාව හෝ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමකින් තොරව මෙම අමාත්‍ය මණ්ඩල තීරණය ගෙන තිබෙන බවත්, වැඩිදුරටත් එම පෙත්සමෙන් පෙන්වා දී ඇත.

මෙම කටයුතුවලට අදාළව 2022 වසරේ ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු රජය සමග අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙන බවත්, එම අවබෝධතා ගිවිසුම සංශෝධනය කිරීම සඳහා මෙම අමාත්‍ය මණ්ඩල තීන්දු දෙක ලබාගෙන තිබෙන බවත්, එහි වැඩිදුරටත් දැක්වේ.

මෙම අවබෝධතා ගිවිසුම තුළින් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ජීව දත්ත ඇතුළු කරුණු ඉන්දියාව අතට පත්වන බවත්, ඒ තුළින් ඉන්දියාවට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අවකාශ සැලසෙන බවත්, පෙත්සමෙන් චෝදනා කර තිබුණා.

දේශීය වශයෙන් ඩිජිටල් හැදුනුම්පතක් නිකුත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් මෙරට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් සකස් කරමින් පවතිද්දී එම කටයුත්ත රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට රජය විසින් ගනු ලබන තීරණය අත්තනෝමතික මෙන්ම නීතියට පටහැනි බවත්, පෙත්සමෙන් පෙන්වා දී ඇත.

මේ තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආර්ථිකයට සහ ජාතික ආරක්ෂාවට මෙන්ම ස්වාධීනත්වයට මැදිහත්වීමට විදේශීය රාජ්‍යයකට අවස්ථාව සැලසෙන බවත්, මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත්, කියා සිටී.

ඒ අනුව ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන මෙම අවබෝධතා ගිවිසුම සහ ඊට අදාළ කැබිනට් තීන්දු බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, මෙම හැදුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, පෙත්සම්කරු ලෙස විමල් වීරවංශ වැඩිදුරටත් ඉල්ලා ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka