gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රියදුරු වාඩිවී සිටියදී දුන්හිඳ අනතුරට පත් බසය පදවා ඇත්තේ කොන්දොස්තර - KDU අනතුර සිදුවූ තැනමයි

බදුල්ල, මහියංගණය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ තිබිරිගස්පිටිය 4 කණුව ප්‍රදේශයේ දී වන්දනා නඩයක් රැගත් පෞද්ගලික බස් රථයක් විදුලි රැහැන් කණුවක ගැටී පෙරළීයාමෙන් පාසල් දැරියක් ඇතුළු තිදෙනෙකු මියගොස් 31 දෙනෙකුට තුවාල සිදු කළ අනතුරක් පසුගිය දින වාර්තා විය. 

අනතුර සිදුවන අවස්ථාවේ වන්දනා බසයේ නිත්‍ය රියදුරු සිටියදී බසයේ සිටි රියැදුරු බලපත්‍රලාභී අනුරාධපුර ඩිපෝවේ කොන්දොස්තරවරයකු බදුල්ල නගරයේ සිට බස් රථය පදවාගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව බදුල්ල මූලස්ථාන පොලිසිය සිදු කළ මූලික පරික්ෂණවලදී හෙළිවී ඇත.

අනුරාධපුර තඹුත්තේගම පහලගම ප්‍රදේශයේ පිරිසක් ඇල්ල කුඹල් වෙල මහමෙව්නා අසපුව වන්දනා මාන කිරීමට ගොස් ආපසු අනුරාධපුර බලා යමින් සිටියදී මෙසේ අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

අනතුරින් මියගිය තිදෙනා වන්නේ අනුරාධපුර තඹුත්තේගම පහලගම කුඩා බිල් බෑව ප්‍රදේශයේ පදිංචිව සිටි රත්නායකගේ කුසුමාවති (65), තඹුත්තේගම කිරලේගම බටුවත්ත පදිංචිව සිටි සියත්මා ටිනාරා දිසානායක (14) සහ තඹුත්තේගම පහලගම කුඩා බිල් බෑව ප්‍රදේශයේ පදිංචි ව සිටි ඒ.වී. ජයතිස්ස (42) යන අය බව පොලිසිය පැවසීය.

මෙම බස් රථ අනතුරින් කාන්තාවන් 20ක්, පිරිමි පුද්ගලයන් 13 ක් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර රෝහලේ වාට්ටු අංක 8, 11, සහ 12 හි දැනට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඉන් හත් හැවිරිදි කුඩා දරුවෙකු සහ 65 හැවිරිදි කාන්තාවක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය. තුවාලකරුවන් අතර අවුරුදු 7, 8 වයස්වල පසුවන කුඩා දරුවන් කිහිපදෙනෙකුද සිටින බව පොලිසිය පැවසීය.

බසයේ නීත්‍ය රියදුරු සහ අනතුර සිදුවන අවස්ථාවේ බසයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයාද පොලිස් නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ බදුල්ල ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 11 හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බවත් පොලිසිය පවසයි.

දැනට බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන රෝගීන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මොවුන් අනුරාධපුර සිට ඇල්ල කුඹල් වෙල මහමෙව්නා අසපුව වන්දනා මාන කිරීමට යාම සඳහා පෙරේදා (21) අලුයම අනුරාධපුරයේ සිට පිටත් වී මෙම බස් රථයෙන් කුඹල් වෙල මහමෙව්නා අසපුවට පැමිණ වන්දනා මාන කර පසුව බදුල්ලට පැමිණ ඓතිහාසික මුතියංගණ රජ මහා විහාරස්ථානය වැඳ පුදාගෙන යළි සවස බදුල්ල සිට බදුල්ල මහියංගන මාර්ගය ඔස්සේ අනුරාධපුර බලා ගමන් කරමින් සිටියදී දුන්හිඳ පල්ලමේ බසය වේගයෙන් ධාවනය වෙමින් තිබියදී තිබිරිගස් පිටිය 4 කණුව ප්‍රදේශයේ දී බසය මාර්ගය අසල තිබූ විදුලි රැහැන් කනුවක ගැටී පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

විදුලි රැහැන් කණුවේ වන්දනා බසය ගැටී නොනැවතුනේ නම් බසය ඒ අසල ප්‍රපාතයට පෙරළී ගොස් විශාල අනතුරක් සිදු වීමට ඉඩකඩ තිබුණු බව පොලිසිය පැවසීය.

අනතුර සිදු වූ වහාම තිබිරිගස්පිටිය 4 ප්‍රදේශයේ ජනතාව සහ බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමේ නිලධාරිහු ද, බදුල්ල පොලිසියේ නිලධාරිහු ද, බදුල්ල එළදලුව යුද හමුදා කඳවුරේ නිලධාරිහු ද, විදුලි බල මණ්ඩලයේ සේවක පිරිස ද බසයේ සිරවී සිටි තුවාලකරුවන් ඉවතට ගෙන කඩිනමින් ඔවුන් ගිලන් රථ සහ මාර්ගයේ ධාවනය වූ ලොරි රථවල දමා බදුල්ල ශික්ෂණ රෝහල වෙත යැවීමට පියවර ගත්හ.

අනතුරුව විදුලි බල මණ්ඩලයේ සේවක පිරිස විදුලි රැහැන් ඉවත් කිරීමෙන් අනතුරුව දොඹකරයක ආධාරයෙන් පෙරළී ගොස් තිබූ බස් රථය ඉවතට ගෙන බස් රථයට යටවී මිය ගොස් සිටි දෙදෙනකුගේ මළසිරුරු ඉවතට ගෙන රෝහලට රැගෙන ගියහ.

"බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ පල්ලමේ ධාවනය වෙමින් තිබූ වන්දනා බසය එක්වරම තිබිරිගස්පිටිය 4 කණුව ප්‍රදේශයේ දී මාර්ගය අසල තිබූ විදුලි රැහැන් කණුවක ගැටී දඩාං ගා විශාල ශබ්දයක් නගිමින් මාර්ගය අසල පෙරළී ගියා. බසයේ සිටි පිරිස අනේ අපිව බේරා ගන්න කියා විලාප දෙමින් බස් රථය තුළ තුවාල ලබා ලේ පෙරාගෙන සිරවී හිටියා. පසුව අපි තිබිරිගස්පිටිය 4 කණුව ගම්වාසීන් එක්වී අලවංගු යොදා ගනිමින් බසයේ ආසන කඩා ලේ පෙරෙන තුවාල සහිතව බස් රථය තුළ සිරවී සිටි තුවාලකරුවන් අමාරුවෙන් ඉවතට ගෙන මාර්ගයේ ධාවනය වූ ලොරි රථ වල දමා බදුල්ල ශික්ෂණ රෝහලට යැව්වා," යැයි අනතුර සිදු වූ ස්ථානයේ සිටි තිබිරිගස් පිටිය 4 කණුව ගම්වාසීහු පැවසූහ.

පොලිසිය පැවසුවේ, මුතියංගණ විහාරස්ථානය අසළ නවතා තිබූ බස් රථය එම ස්ථානයෙන් ඉවත් කිරීමට රියැදුරු නොමැති අවස්ථාවේ නඩයේ සිටි පුද්ගලයා ඉදිරිපත්වී ඇති බවයි. ඉන් පසුව එම ස්ථානයට පැමිණි බස්රථයේ රියැදුරා ඔහුටම බස්රථය පදවාගෙන යන ලෙස පවසා ඇත. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය ධාවනය කළ පුද්ගලයා නිසි රියදුරු බලපත්‍රයක් සහිත අයෙකු බවට හඳුනාගෙන ඇතැයි, පොලිසිය පැවසීය.

පසුගිය වසරේ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ සිසුන් පිරිසකට දිවි අහිමි කරමින් බස් රථයක් අනතුරට ලක්වූයේද මෙම ස්ථානයේදී බව පොලිසිය පැවසීය.

අනතුරින් තුවාල නොලැබූ තිදෙනෙකු බසයෙන් බැස ගොස් ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka