බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක් නේවාසිකාගාර කාමරයේ ගෙල වැලලාගෙන සිටිය දී පසුගිය 23 වැනිදා සොයාගත් බව බිංගිරිය පොලිසිය කියයි.සිද්ධියෙන් මියගොස් ඇත්තේ මහනුවර තෙල්දෙනිය දෙල්ගස්තැන්නේ සංජීවනී කුමාරි නම් 23 හැවිරිදි සිසුවියකි.
මෙම ගුරු සිසුවියගේ නේවාසිකාගාර කාමරයේ සිටින අනෙක් ගුරු සිසුවිය පැමිණ කාමරයේ දොර විවෘත කිරිමට නොහැකිවී ඇති අතර ඇය තම අනෙක් පිරිසට මේ බව දන්වා ඇත.
ඔවුන් දොර කඩා බැලීමෙන් පසු මෙම සිද්ධිය දැක ඇතැයි පොලිසිය කළ මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත. බිංගිරිය පොලිසිය මෙම ස්ථානයට පැමිණ මූලික පරික්ෂණ් සිදුකර ඇත. මේ අතර දිවි හානි කර ගැනීමේ සිද්ධියට එහි පාලනාධිකාරිය හා කථිකාචාර්යවරුන් වග. කිව යුතු බව කියමින් සිසු සිසුවියෝ පිරිසක් විද්‍යා පීඨයේ ඉදිරිපිට දී පෙරේදා (24) පස්වරුවේ නිහඬ විරෝධතාවක නිරත වූහ.
මෙම සියදිවි නසා ගැනීමට අධ්‍යාපන විද්‍යා පීඨයේ පාලනාධිකාරිය හා කථිකාචාර්යවරුන් වග කිව යුතු බව උද්ඝෝෂණයේ නිරත සිසු සිසුවියෝ චෝදනා කළහ.දිවි නසා ගැනීමට තරම් මෙම සිසුවිය මානසික පීඩාවකට පත්කර ඇත්තේ එක්තරා කථිකාචාර්යවරයකු බවත් වයඹ අධ්‍යාපන පීඨය අධ්‍යාපන ආයතනයක් ලෙස නොව තරුණ සිරකරුවන්ගේ කඳවුරක් ලෙසට පාලනය කරන බවත් සිසු සිසුවියෝ උද්ඝෝෂණයේ දී පැවැසුහ.මෙහි පාලනාධිකාරිය යාවත්කාලීන කරන ලෙස ද එසේ නොවුණහොත් තවත් මහා පිපුරුමක් ඇතිවිය හැකි බව ද සිසු සිසුවියෝ කීහ.
ඔව්හු – විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ නිරත වූහ. පැය තුනකට පමණ ආසන්න කාලයක් සිසු සිසුවියෝ විරෝධතා වේ. නිරතව සිටි අතර වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පීඨාධිපති ලාල් කුමාර මහතා අනතුරුව එහි පැමිණ සිසුන් සමග සාකච්ඡාවක නිරතවීමෙන් පසු ඔවුහු විසිර ගියහ.හලාවත විදුහලක ප්‍රාථමික අංශයේ සිසුනට අකුරු කියාදීමේ පුහුණු වැඩසටහනකට තවත් ගුරු පුහුණුව ලබන සිසුවියන් සමග ඉකුත් 23 වැනිදා ගොස් ඇති මෙම සිසුවිය නැවත නේසිකාගාරයට පැමිණ අනතුර සිදු කරගෙන ඇතැයි පොලිසිය කියයි.
මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පීඨාධිපති ලාල් කුමාර මහතා කීවේ. විද්‍යා පීඨයේ පවතින සම්ප්රදාය අනුව විද්‍යා පීඨයේ ගුරුවරුන් කටයුතු කර තිබෙන බවයි.
“ළමයි පීඩාවට පත් කිරිමක් හෝ වෙන දෙයක් මෙහි වන්නේ නෑ ඒ ළමයා මිය යන්න සති දෙකකට කලින් ගෙදර ගියා. ජීවිතය එපාවෙලා තියෙනවා යැයි අක්කලට කියා තිබෙනවා. පීඩනයක් තිබෙන බව කියා තිබෙනවා” යැයි පීඨාධිපතිවරයා කීය.මේ පිළිබඳව බිංගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
( වික්ටර් සෝමවීර)