එල්ල වී ඇති මරණීය තර්ජන හේතුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා ඊයේ (17) සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. සන්ඩේ ටයිම්ස් වාර්තා කරන්නේ පසුගිය 9 දා රාත්‍රී 11.30 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැය භාගයක් පමණ කාලයක් තුළ පුද්ගලයින් දෙදෙනෙකු නිවසට කඩා වැදී ඇවිද යන ආකාරත්, ඔවුන් වෛද්‍ය සේමගේ නිදා සිටි නිදන කාමරයට එබී බලන ආකාරයත් ඔහුගේ නිවසේ සීසීටීවී පද්ධතියේ සටහන් වී ඇති ආකාරය නිරීක්ෂණයත් සමග මෙම තැතිගැන්ම ඇති වී තිබුණු බවය. මේ අවස්ථාවේ දී ඔහුගේ බිරිඳ සහ දරුවන් ද නිවසේ නිදාගෙන සිට ඇත.
මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සේමගේ 2024 ජනවාරි මාසයේදී එම තනතුරට පත් කරනු ලැබුවේය. ඔහු ඊට පෙර 2021 නොවැම්බර් සිට 2022 මැයි දක්වා ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කළ ද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ ඇති වූ මතභේද හේතුවෙන් ඉල්ලා අස් වූයේය. ඖෂධ නියාමනය යාන්ත්‍රණය නිවැරදි කිරීමටත්, අක්‍රමිකතා වැලැක්වීමටත් කටයුතු කිරීමත් සමග වෛද්‍ය සේමගේට තනතුරින් අස්වීමට බල කෙරී තිබිණි.
නැවත ඔහුව එම තනතුරේ පිහිටුවන්නේ කෙහෙළිය රඹුක්වැල්ලගෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත්වන වෛද්‍ය රමේෂ් පතිරණය. කෙසේ වෙතත් ඖෂධ කර්මාන්තකරුවන්ගේ දැඩි විරෝධයකට ලක් වීමට වෛද්‍ය සේමගේට සිදුවිය. ඒ ඖෂධ කර්මාන්තය තුළ පැවති ඒකාධිකාරිය බිඳ දැමීම මෙන්ම සාමාන්‍යයෙන් තරඟකරුවන් අතර මිල නියම කිරීම, වෙළඳපල වෙන් කිරීම හෝ වෙනත් තරඟකාරී විරෝධී ක්‍රියාකාරකම්වල යෙදීම සඳහා ගිවිසුම්වලට අනුබල දීම ඔහු විසින් වළක්වා තිබිණි. ඔහු දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත චරිතයක් බවට හංවඩු ගසමින් මේ මාෆියාකරුවන්ගේ බලවත් සමාජ මාධ්‍ය ප්‍රහාරයකට ද මේ අතර වෛද්‍ය සේමගේ ලක් වූයේය.
මහජන අරමුදල් ඉතිරි කර ගැනීම සඳහා මිල නියම කිරීමේදී සහ ඒකාධිකාරයන් සහ සැපයුම්කරුවන් විසින් එකිනෙකා දැනුම්වත්ව ඔවුන්ගේ ලාභයන් උදෙසා ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බිඳ දැමීමට තමන් කටයුතු කළ බවත් ඒ ප්‍රයත්නයන්හි ප්‍රතිපල ලෙස පසුගිය සති දෙක තුන තුළ ඖෂධ නියාමන අධිකාරිය තුලත්, ඖෂධ කර්මාන්තය තුළත් විශාල ආතතියක් ඇති වූ බව ආචාර්ය සේමගේ සන්ඩේ ටයිම්ස් ප්‍රකාශ කර තිබිණි.
“මම හිතන්නේ මගේ නිවසට කඩාවැදීම මාව ඉවත් කිරීමේ උත්සාහයක තර්ජනයක් කියලා.” ඔහු සන්ඩේ ටයිම්ස් වෙත පවසා තිබිණි.
වෛද්‍ය සේමගේ මැදිහත් වීමෙන් පසුගිය මාස 15 තුළ, ඖෂධ නියාමන අධිකාරිය තුළ ගොඩගැසී තිබුණ ඇති ව්‍යාජ ලියාපදිංචි කිරීම් ඉවත් කර ඖෂධ සඳහා නැවත ලියාපදිංචි කිරීම් විධිමත් කරන්නට කටයුතු කෙරිනි. ඖෂධ ලියාපදිංචි කිරීමට ඉදිරිපත් කළ ව්‍යාජ ලියකියවිලි සොයා ගැනීමට ද මේ ක්‍රියාවලියේ දී ඔහුට හැකි විය. වර්ෂ 2021 දී ඖෂධ නියාමන අධිකාරියේ දත්ත සමුදාය අභිරහස් ලෙස මකා දැමූ විට හදිසියේම අවසන් වූ ඩිජිටල්කරණ ක්‍රියාවලියක් ආරම්භ කිරීමටත් වෛද්‍ය සේමගේ කටයුතු කර තිබිණි. ඔහුගේ ධුර කාලය තුළ, අධිකාරිය එහි කාර්ය මණ්ඩලය දෙගුණ කළ අතර, නව ඖෂධවේදීන් 30 දෙනෙකු ඇතුළු තවත් අය බඳවා ගත්තේය. ජාතික උපදේශක කමිටුව සහ අභියාචනා කමිටුව ද ක්‍රියාත්මක කරන ලද අතර, මාර්ගෝපදේශ සමඟ මිලකරණ යාන්ත්‍රණයක් ප්‍රකාශයට පත් කරන ලදී.