gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"දෙවියනේ... මේ තරම් අමාරු වයසක මනුස්සයා කොහොමද තුන් සැරයක් අපි පහුකර ගෙන පද්මේ කිට්ටුවට ආවේ... මේක මහ පුදුමයක්" - සිරිපා අඩවියේදී තුන්වතාවක්ම සිල් මාතාවක් ඉදිරියට ආපු අද්භූත රූපයක්!

වේලාව සවස 7ට කිට්ටුය. ශ්‍රී  පාද අඩවියේ මස්කෙළිය, සමන්එළිය මහා විද්‍යාලයේ ගුරු නිවෙස අසල සිදුවූ සිද්ධියකි මේ. මස්කෙළිය ආරච්චි වසම ඒ දිනවල මස්කෙළිය සිට සීත ගඟුලටත් ඉහළ දක්වා පැතිරී තිබිණි.

එම ආරච්චි වසමේ ගම්මුලාදෑනි ලෙස කටයුතු කළ රොබට් මහතා ඉන්පසු කලක් ග්‍රාම සේවක නිලධාරියකු ලෙසද සේවය කර විශ්‍රාම ලැබූවෙකි. මස්කෙළිය ජලාශය ඉදිකිරීමේදී එයට යටවූ රෑ දවල් ජනයා ගැවසුණු ගඟේවත්ත පැරැණි නගරය මෙන්ම ශ්‍රී  පාද අඩවිය වාර සිය ගණනක් නැඟ ඇවිද හොඳ දැනුමක් තිබූ රොබට් මහතා මා සමඟ කතාවට වැටෙයි.

නල්ලතන්නියේ සිට ශ්‍රී  පාද පද්මය දක්වා මඟ දිගට කැලෑව මැදින් විදුලි බුබුළු දහස් ගණනක් දැල්වෙමින් අන්ධකාරය කපා දමා දැල්වෙයි. විදුලි බුබුළු එළිය නිවී දැල්වෙන්නා සේ අපට පෙනෙයි. අඳුර උරා ගෙන මැදින් මස මෝරන සඳ පළුව අහසේ නැඟී ඉහළට එයි. පුර අටවක සඳ පළුවේ රැස් දිග අතට හරස් අතට අහසේ කොටු යෙදුවා මෙන් අහස වසාගෙන පැතිරෙයි. භක්තිය උතුරා යන සිතින් මම බිරිය හා දියණියට කතා කර අහසේ අද්භූත ලෙස සඳ පළුවෙන් මවා ඇති කොටු රැස ඔවුන්ට පෙන්වූයෙමි. සමන්එළිය මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවයට පැමිණ අවුරුදු හතරක් ගෙවී ගිය බව සිහිනයක් මෙන් මගේ හිතට නැඟෙයි. රොබට් ආරච්චි මහතා නිශ්ශබ්දතාව බිඳ දමයි.

“මහත්තයා සමන් දෙවියන්ගේ අඩවියේ මොන තරම් හාස්කම් තියෙනවාද? මම නල්ලතන්නියේ ඉඳලා පද්මයට යනකල් අවුරුදු 30ක් විතර වසමේ වැඩ කළා. ඉහේ කෙස් ගාණට ඔය අඩවියේ කරක් ගැහුවා. කැලෑවේ ඇවිද්දා. මුල් කාලේ ශ්‍රී  පාදේ පාරට ලයිට් නෑ. ගියේ කැකුණ පන්දම් පත්තු කරගෙන. නැත්නම් හුළු අතු පත්තු කරගෙන. රේල්ලුව ආවේ හැටන්වලට විතරයි.

හැටන්වලදී කෝච්චියෙන් බැහැලා කෑම කාලා නඩේ ගුරා එක්ක හුළු අතුපන්දම්, ලන්තෑරුම්, විදුලි පන්දම් පත්තු කර ගෙන තුන්සරණේ කවි කිය කියා මහා රෑ හැටන්වල ඉඳලම පයින් තමා ආවේ. මස්කෙළියට බස් – ලොරි එන්ට පටන් ගත්තේ ඊට පස්සේ. නල්ලතන්නියට බස් ගමන පටන් ගත්තේ ඊටත් පස්සේ මේ ළඟදී. ඒ කාලයේ මස්කෙළිය තේ වතු මැද තිබුණා පුංචි කඩ මණ්ඩියක්. අද තියෙන මේ කඩමණ්ඩිය නෙමෙයි එදා තිබුණේ. ඒ පරණ ටවුමට කිව්වේ ගඟේවත්ත කියලා. රෑ – දවල් ශ්‍රී  පාදේ යන අය. වැඳලාබහින අය පිරිලා. ඒකේ සිනමා ශාලාවකුත් තිබුණා. තැබෑරුම් තිබුණා. ගඟේවත්ත පරණ ටවුමේ පන්සල, කෝවිල, පල්ලි ඔක්කොම තිබුණා.

පුංචි ටවුම වුණාට රෑ දවල් සෙනඟ තෙරපෙනවා. ශ්‍රී  පාදේ නඟින නඩ කෑම කෑවේ තේ බිව්වේ ගඟේවත්තේ. ඉළන්දාරි නඩ සිනමා ශාලාවේ චිත්‍රපට බැලුවා. වැඳලා බහින නඩ කෑම කාලා තේ බීලා වෙහෙස නිවා ගත්තා. ඔය කාලේ තමා ලක්ෂපාන විදුලි බලාගාරේ හදන්න උමඟේ කපන්න පටන් ගත්තේ.

උමඟ කපන කොට කම්කරුවොත් යට කරගෙන උමඟ කඩා වැටෙනවා. ප්‍රදේශයේ ඒ පැත්තේ ලොකු ලොක්කන්ගේ, වැඩ කරන අයගේ කීමට උමඟේ වැඩ ඉවර වෙලා විදුලි බලය ලැබුණාම මුලින්ම ශ්‍රී  පාදයට විදුලි ආලෝකය දෙනවා කියලා කොතලාවල  මහත්තයා සමන් දෙවියන්ට බාරයක් වුණා. ඊට පස්සේ අතුරු ආන්ත්‍රාවක් නැතිව උමඟ කපලා ලක්ෂපාන ව්‍යාපාරය ආරම්භ කළා. බාරය අනුව 1950 මුලින්ම ශ්‍රී  පාද පද්මයට, ශ්‍රී  පාදයට යන පාරටලයිට් දුන්නා.

ඒ වෙනකල් මිනිස්සු ශ්‍රී  පාදේ නැග්ගේ කැකුණ පන්දම්, හුළු අතු, ලන්තෑරුම්, විදුලි පන්දම් පත්තු කරගෙන. ඒ කාලේ හැටන්, ගඟේවත්ත, නල්ලතන්නිය, හැම කඩේකම හුළු අතු, කැකුණ පන්දම් සල්ලිවලට විකුණන්න තිබුණා. හුඟදෙනා කළේ ගෙදරදීම මේ පන්දම් හදාගෙන ඔතාගෙන එන එක. ශ්‍රී  පාද පාරට ලයිට් දුන්නම ඒ ඔක්කොම උඩු යටිකුරු වුණා.”
“ආරච්චි මහත්තයා ඒ කාලේ ශ්‍රී  පාදේ ගිය ආව පාරවල් ගැන අතරමඟ තැන් ගැන හොඳට දැනුම ඇතිව ඉන්න ඇති”

“මොනවා කියනවද මහත්තයා? සමන් දෙවි හාමුදුරුවන්ගේ අඩවියේ හැම ගහක් කොළක් ගාණෙම මම ඇවිදලා තියෙනවා. අවාරයේ ශ්‍රී  පාදේ යනවා කියන්නේ එදා හැටියට මරණ සහතිකය ලියා ගන්න එක. ඒත් කොච්චර බාධක මාරක තිබුණත් එදාත් අවාරයේ කළුවරේ ශ්‍රී  පාදේ ගිය අය අනන්තවත් මට මුණගැහිලා තියෙනවා. මහරගම  පැත්තේ පදිංචි යෝගියෙක් මට හැමදාම අවාරෙදි මුණගැහෙනවා. එයා අවාර කාලෙට එකසිය දහවතාවක් ශ්‍රී  පාදේ නැඟලා තියෙනවා කියලා මාත් එක්ක කිව්වා. හිතුවක්කාර ගැටව්, සුද්දෝ අවාරයේ තනියම ශ්‍රී  පාදේ ගියා. ශ්‍රී  පාදේ ගිය වැඩිදෙනා ගියේ සුද්ද පවිත්‍ර වෙලා, බාරවෙලා බොහොම ගරු සරු ඇතිව භක්තියෙන් ශ්‍රද්ධාවෙන් බොහොම විනීතව තුන්සරණේ කිය කියා. ඔක්කොම වෙනස් වෙලා බහුභූත විගඩම් පේන්නේ දැන් කාලේ”

“ආරච්චි මහත්තයා දවසක් සිල් මාතාවක් ගැන කතාවක් කිව්වා. මට යන්තම් මතකයි. ඒ කතාව කියනවද?”

“මම කියන්නම්. ඊට ඉස්සර බලන්න පද්මේ දිහාව. අර ඉස්සර අහසේ කොටු කොටු හැදිලා තිබූ සඳ රැස් දැන් පේන්න නෑ. පද්මේ ඉඳලා පේන තෙක් මානේ අහසේ කමතක හැඩයට වෙනම එළියක් වැටිලා. ඔය වගේ ස්වභාවධර්මෙත් අපූරුවට හැඩගැහිලා. ඒ කාලේ අවාරෙට දිවි රංචු, අලි රංචු මේ අඩවියේ අනන්තයි. අවාරෙට ගල් පඩිපෙළ දිගේ නැඟලා පද්මේ මුදුනටම එනවා. අලියා කඩා දාපු අතු මඟ දිගට දකින්න පුළුවන්. අවාර කාලෙට ශ්‍රී  පාද හිමේ ඉන්න අලි රංචු පද්මේ අවට සැරිසරනවා. අවාරෙට දිවියෝ එනවා නල්ලතන්නි කඩමණ්ඩියටම. ඒ අම්බලම්වල ලගින බල්ලෝ හොයා ගෙන.

අවාරේ ලබනවත් එක්කම නල්ලතන්නිය  කඩමණ්ඩිය ඔක්කොම වහනවා. සමුපකාර කඩේ හැරුණාම. මකර තොරණ හරියේ වතුවල දෙමළ මිනිස්සු හාල්, තුනපහ කූපන් බඩු ගන්න හින්දා සමුපකාර කඩේ ඇරලා තියනවා. මහත්තයා අහපු කතාව කියන්නම්. දැන් ඒ කාලේ ගිනිගත්හේන පැත්තේ උපාසිකා ආරාමයක් තිබුණා. ඒකෙ ලොකු සිල් මාතාව බොහොම සිල්වත්, දානමාන වන්දනා පින්කම්වලට බොහොම ළැදියි. කතාබහ කරලා තියෙනවා. තරමක් කොටයි, මහතයි. තලෙඑළලුයි. වන්දනා කාලෙට තවත් මෑණිවරු පිරිවරා ගෙන කළමනා උරවල එල්ලාගෙන ලොකු මෑණියෝ අඳුරු වැටෙන කොට නල්ලතන්නියට එනවා. දවසක් සිල් මාතාව තවත් මෑණිවරු  තුන් හතරදෙනෙක් එක්ක පද්මේ නඟින්න නල්ලතන්නියට ආවා. 

සීත ගඟුල පිරිලා ලස්සනට වතුර පහළට ගලනවා. ඇඟ හිරිගඩු පිපෙන සීතලේ නායක මෑණියෝයි පිරිවර අයයි සීත ගඟුලට බැහැලා හොඳට නාලා පිරිසුදු වෙලා පන්සිල් අරගෙන කෝපි බීලා පද්මේ නඟින්න ගමන් ඇරැඹුවා. ලොකු මෑණියෝ පිටිපස්සේ පිරිවර මෑණිවරු යනවා. ලොකු මෑණියෝ ඉස්සරහින් හුඟක් වයසක රැවුල වැවුණු කකුල නොණ්ඩි ගහන ලොකු තුවාලයක් රෙදි පටිවලින් ඔතාගෙන නාකි මනුස්සයෙක් හැරමිටි ගගහා තනිවම ගල් පඩිපෙළ නඟිනවා. මෑණියන්ගේ හිත උණු වුණා. මේ වයසක මනුස්සයා තුවාලෙත් අරන් නොණ්ඩි ගගහා පද්මෙට කොහොම යන්නද. එහෙම යන්න දවස් 10-12ක් ගත වෙයි. වයසට ගියත් භක්තිය, ශ්‍රද්ධාව නිසා ශ්‍රී  පාදේ පුරුද්දට යනවා ඇති කියලා ලොකු මෑණියෝ තනිවම කල්පනා කළා.

මහලු මනුස්සයා ටිකක් දුර ගිහින් ගල්පඩි පේළියේ නැවතුණා. මෑණියෝ ගල් පඩිපෙළ නඟින කොට අර නාකි මනුස්සයා අත දික් කරලා මෑණියන්ගේ හිස අත ගෑවා. මෑණියන්ට ලොකු අමනාපයක්, තද පිළිකුලක් ඇති වුණා. පූජක බමුණා වගේ තුවාලෙත් බැඳගෙන කැතේ බැරිව ගල් පෙඩිපෙළ නඟින මගේ ඔළුවත් අත ගෑවා කියලා ටිකක් කේන්ති ගියා. මහල්ලා ගල් පඩිපෙළේ ඉඳගෙන ඉන්දැද්දී ලොකු මෑණියෝ පිරිවරත් එක්ක හැතැප්මක් විතර පද්මේ දිහාවට උඩහට ගමන් කළා. ටිකක් දුර ගමන් කළාම ටික වේලාවක් නැවතිලා කෝපි උගුරක් බීලා බුලත් විටක් හපලා විවේක අරගෙන ආයෙත් ගමන පටන් ගන්නවා. සෙනඟ වැඩියි. වන්දනා නඩ ළඟ ළඟම ගමන් කරනවා.

තදබදයත් තරමක් වැඩියි. මෙන්න අර සීත ගඟුලේදී පසු කරපු වයසක මනුස්සයා ආයෙත් සැරයක් මෑණියෝ ඉස්සරහා ඉන්නවා. රැවුලත් වවාගෙන තුවාලෙත් බැඳගෙන ඔළුවේ ජටාවකුත් බැඳගෙන හැරමිටියක් තියාගෙන කෙඳිරි ගගා පද්මේ නඟිනවා. ලොකු මෑණිට හිතේ තද ගැස්මක් ඇති වුණා. සීත ගඟුලේදී මුලින්ම දැක්ක මහලු මනුස්සයා පහුකර ගෙන දැන් සිල් මාතාව හැතැප්මක් විතර පද්මේ දිහාවට ඇවිත්. ඇවිදිනවා තියා අඩිය තියන්නත් අමාරු වයසක මනුස්සයා ආයෙත් කොහොමද අපට ඉස්සර වුණේ කියලා. පඩිපෙළ නඟින කොට මෑණියන්ගේ මුළු හිසට වයසක මනුස්සයා දෙවැනි සැරේටත් අත තිබ්බා. ලොකු මෑණියන්ට කියන්න බැරි තරමේ පිළිකුලක් කෝපයක් මතුවුණා. නපුරු විදිහට මහල්ලා දිහා බලාගෙන කෝපය යටකර ගෙන සිල්මාතාව පිරිවරත් එක්ක ආයෙත් පද්මේ දිහාවට ගමන් කරන්න පටන් ගත්තා. මහලු මනුස්සයා යකඩ වැටට හේත්තු වෙලා බලාගෙන ඉන්නවා”

“දැන් පද්මේ අත දිග හැරියා වගේ ළඟයි. සෙනඟ පොදි පොදි පිරිලා. පද්මේ විදුලි එළියත් පාරට හොඳට වැටිලා. සිල් මාතාව වයසක මනුස්සයා පහුකර ගෙන හැතැප්ම බාගයක් විතර ඉහළට ගියා. අර මනුස්සයා හිටියේ ගල්පඩි පෙළ පාමුල. තුවාල කකුල දික්කරගෙන. තුවාලේ බැඳගෙන පය ඉදිමිලා බොහොම මහන්සියෙන් හති ඇර ඇර.”

“දැන් සිල් මාතාව අනිත් මෑණිවරුත් එක්ක පද්මෙට කිට්ටු කරලා. සෙනඟ පිරිලා. ගල් පඩිපෙළ නඟින්නත් අමාරුයි. එක ගල් පඩියක් නැඟලා ඊළඟ පඩියට යන්න විනාඩි ගණනක් යනවා. මෙන්න දෙසැරයක් දැක්ක, දෙපාරක් පහු කරපු අර වයසක නාකි මනුස්සයා ශ්‍රී  පාද පද්මේ පාමුල ගල් පඩිපෙළේ බැම්මකට හේත්තු වෙලා හැරමිටිය තියාගෙන සෙනඟ දිහා බලාගෙන ඉන්නවා. මේ තරම් අමාරු වයසක මනුස්සයා කොහොමද තුන් සැරයක් අපි පහුකර ගෙන පද්මේ කිට්ටුවට ආවේ කියලා ලොකු මෑණිට තද කල්පනාවක් ඇති වුණා. මේක මහ පුදුමයක්. දැඩි පිළිකුලක්. ඒ තරහා වචනවලින් පිට නොකර හිතට යට කර ගත්තා. කොහොමද මේ මනුස්සයා තුන්සැරයක් අපි පහුකරගෙන ආවේ”

“දැන් පාන්දර යාමේ පද්මේ මුදුනට පිරිවරත් එක්ක මෑණියෝ ගියා. ඉර සේවයට තව ටික වේලාවක් තියෙනවා. ඉහවහ ගිය ශ්‍රද්ධාවෙන් මෑණියෝ ශ්‍රී  පාද පද්මේ වැඳ පුදා ගත්තා. ඉර සේවය එනකල් පිරිවර මෑණිවරුන් එක්ක පද්මය මුදුනේ ඉඩ තියෙන තැනක තාප්පයකට හේත්තු වෙලා හිත එකඟ කර ගත්තා. හිතට ගලාගෙන ආවේ වචනවලින් කියන්න බැරි සතුටක්”

“ඉර සේවයේ ගලාගෙන එන රැස් වගේ අඳුර කපාගෙන ආලෝකයක් සිල් මෑණියන්ගේ මුහුණට විතරක් ගලාගෙන ආවා.”

“දරුවා මම උඹට තුන් සැරයක් කතා කළා. උඹ මාව පිළිකුල් කළා”

“කටහඩ එක පාරටම අතුරුදන් වුණා. මෑණියෝ හිත ගැස්සිලා හිත කීරි ගැහිලා ගියා. ඒ වෙලාවේ ඇති වෙච්ච සිතිවිලි පුදුමයි. සිල් මාතාව අප්‍රාමාණ භක්තියෙන් පද්මය නමස්කාර කරලා සමන් දෙවියන්ට පින් දුන්නා. තුන් සැරයක් කතා කරලත් ලොකු සිල් මාතාවට සමන් දෙවියෝ හඳුනාගන්න බැරි වුණා. ඔය සිල් මාතාව මට කිහිපසැරේ නල්ලතන්නියේදී මුණගැහිලා තියෙනවා. ඔය කතාව ලොකු සිල් මෑණියෝ මට කිව්වේ නල්ලතන්නියේදී.”

මගේ හිතට අමුතුම හැඟීමක් දැනෙයි. රොබට් මහතා දෑස් පියාගෙන විදුලි එළියෙන් නෑවෙන ශ්‍රී  පාද පද්මය දෙස බලා හිස නමා ‍ෙදාහොත් මුදුන් දී වඳියි. සඳ රැසින් නෑවෙන විදුලි බුබුළු පෙළ හා ශ්‍රී  පාද පද්මය දෙස අප්‍රමාණ භක්තියකින් මම බොහෝවෙලා බලා සිටියෙමි.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
එස්.කේ. ජයවර්ධන
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka